අලහාබාද් නගරයේ නම වෙනස් කරයි



ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ අලහාබාද් නගරයේ නම ප‍්‍රයාග්රාජ් යනුවෙන් වෙනස් කෙරුණි.

‘අලහාබාද්’ මුස්ලිම් නමක් වන හෙයින්, එය ‘ප‍්‍රයාග්රාජ්’ යනුවෙන් වෙනස් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන රජය පවසා ඇත.

නගරයේ මුස්ලිම් නව වෙනස් කළ යුතු යැයි යෝජනාවක් මධ්‍යම රජය වෙත යොමු කළේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත මහ ඇමැති යෝගී අධිත්‍යනාත්ය. උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත රජයේ අනුමැතිය ඒ සඳහා හිමිවී ඇත. උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ පවතින්නේ භාරතීය ජනතා පක්ෂ රජයකි. මහ ඇමැති යෝගී ආදිත්‍යනාත් හින්දු ජාතිකවාදියෙකු බවත් මුස්ලිම් විරෝධියකු බවත් පැවැසෙයි.

අලහාබාද් නගරයේ බහුතරය හින්දුවරුන් වන අතර, නගරයේ ජනගහනය මිලියනයකි. අලහාබාද් නගරය ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරුගේ උපන් නගරයයි. මෙය පිහිටා ඇත්තේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට කිලෝ මීටර් 650 ක් දුරිනි. මෙය අල්ලහබාද් යන නමින් නම් කරනු ලැබ ඇත්තේ 16 වැනි සියවසේ සිටය. ඒ, එවකට මෙම නගරය පාලනය කළ මුස්ලිම් මෝගල් පාලකයන් විසිනි.

පූජනීයත්වයෙන් හැඳින්වෙන් ගංගා සහ යමුනා ගංගා අලහාබාද් නුවරදී එකිනෙක හමුවෙයි. අලහාබාද් නගරය ‘ප‍්‍රයාග්රාජ්’ යන නමින් නම් කෙරෙන්නේ මේ හේතුව නිසාය. ඉන්දියාවේ ප‍්‍රකට කුම්භමේලා පූජා සැණකෙළිය සෑම වසරකම ජනවාරි මාසයේදී පැවැත්වෙන්නේ ද අලහාබාද් කේන්ද්‍රකොට ගනිමිනි. මිලියන 100 ගණනක් හින්දු වැසියෝ මෙම පූජා සැණකෙළියට සහභාගී වෙති.

(රොයිටර්ස්)


RECOMMEND POSTS