අගමැති මොරිසන්ට ජන වරමක්



ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණයෙන් අගමැති ස්කොට් මොරිසන්ගේ ලිබරල් ජාතික සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවිය.

ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණය පැවැත්වූයේ ඊයේ 18 වැනිදාය. ජය‍්‍රහණය සමරමින් තම පක්ෂ ආධාරකරුවන් සහ ජනතාව ඇමැතූ අගමැති මොරිසන් සැමට ස්තුති කළේය.

ඡන්ද සටන පැවැත්වූයේ අගමැති මොරිසන් සහ විපක්ෂ නායක බිල් ෂෝටන් අතරේය. ෂෝටන් විසින් මෙහෙයවනු ලැබුවේ කම්කරු පක්ෂයයි. ෂෝටන් කම්කරු පක්ෂයේ නායකයා ලෙසත් විපක්ෂ නායකයා ලෙසත් කටයුතු කළේ 2013 වසරේ සිටය. ලැබූ පරාජය හමුවේ ෂෝටන්, පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය.

ඕස්ටේ‍්‍රලියා දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කර තිබුණේ වසර 6 කට පසු පළමු වතාවට විපක්ෂය වන කම්කරු පක්ෂය මෙම මැතිවරණය ජයග‍්‍රහණය කරනු ඇති බවය.

මැතිවරණය ප‍්‍රතිඵල නිකුත් වීම ආරම්භ වෙද්දී, ලිබරල් සන්ධානය සහ කම්කරු පක්ෂය අතර පැවැතියේ තියුණු සටනකි. බහුතර බලය සඳහා ආසන 76 ක් දිනා ගැනීම කළ යුතු විය. කෙසේ නමුත් අවසානයේදී ලිබරල් සන්ධානය කම්කරු පක්ෂය අභිබවා ගියේය. ඒ ආසන 74 ක් දිවා ගනිමිනි. කම්කරු පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 66 ක් පමණි. තවත් ආසන 6 ක් ස්වාධීන පක්ෂ අතරේ බෙදී ගියේය.

මහ මැතිවරණය පැවැත්වූයේ  ඕස්ටේ‍්‍රලියා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලයට නියෝජිතයන් පත් කර ගැනීම සඳහාය.  ඕස්ටේ‍්‍රලියාවේ ඡුන්දය ප‍්‍රකාශ කිරීම අනිවාර්යය. එසේ නොකළොත් දඬ ගෙවීමට සිදුවෙයි. මෙවර මිලියන 16.4 ක පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බව පැවැසෙයි.

ස්කොට් මොරිසන්  ඕස්ටේ‍්‍රලියාවේ අගමැති ධුරයට පත්වූයේ පසුගිය වසරේය.  ඕස්ටේ‍්‍රලියාවේ අගමැති ධුරය හිමිවන්නේ, පාලක පකෂයේ නායකයා වන පුද්ගලයාටය. මොරිසන් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති කුමන්ත‍්‍රණයකින් පක්ෂ නායකයා බවට පත්විය. ඒ, පක්ෂ නායකයාත් අගමැතිවරයාත් ලෙස කටයුතු කරමින් සිටි මැල්කම් ටර්න්බුල් නෙරපා දැමීමට කටයුතු කරමිනි.
මෙම මැතිවරණයෙන් ලැබූ ජයග‍්‍රහණය, මොරිසන්ට ජනතාව ලබා දුන් ජනවරමක් ලෙස සැලකෙයි. ආර්ථිකය ගොඩනැගීමට, රටේ ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය දීමට තමන් සහ තම රජය පියවර ගන්නා බව මොරිසන්  ඕස්ටේ‍්‍රලියානුවන්ට ප‍්‍රතිඥා දී ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS