737 මැක්ස් යානා භාවිතයෙන් ඉවත් කෙරේ



ගුවන් යානා නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ඇමෙරිකාවේ බෝයිං ගුවන් සමාගම, ඔවුන්ගේ 737 මැක්ස් වර්ගයේ සියලුම ගුවන් යානා භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කළේය.

පසුගිය 10 වෙනිදා කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය ද 737 මැක්ස් වර්ගයේ යානයකි. එම යානය 2017 වසරේ දී නිපදවා ඇති අතර, ඉතියෝපියානු ගුවන් සේවය යානය මිලදී ගෙන ඇත්තේ පසුගිය 2018 දීය.

157 දෙනකු ද සමඟ කඩා වැටුණු එම යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය බලධාරීන් විසින් සොයා ගනු ලැබුවේ 12 වැනිදා සවසය. ඒ අනුව යානය කඩා වැටුණේ ඇයිදැයි සොයා බැලීම සිදුවුණු බවත්, යානය කඩා වැටුණේ යානයේ දෝෂයක් නිසා බව තොරතුරු අනාවරණය වූ බවත් පැවැසෙයි.

පසුගිය 2018 වසරේ ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානයක් ද කඩා වැටී 189 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. එම අනතුරට හේතුව ද ගුවන් යානයේ දෝෂයක් බව මේ වනවිට අනාවරණය වී ඇත.

ඉතියෝපියා ගුවන් අනතුර සිදුවුණු දිනය පසුදා එනම් 11 වැනිදා බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නැවැත්වීමට ඉතියෝපියාව, චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව ආදී රටවල් රැසක ගුවන් සේවා කටයුතු කළේය.

එම අවස්ථාවේදී බෝයිං සමාගම කියා සිටියේ තමන් නිෂ්පාදනය කළ බෝයිං 737 මැක්ස් යානාවල කිසිදු දෝෂයක් නැති බවත්, යානා භාවිතයෙන් ඉවත් නොකරන බවත්ය. ඉතියෝපියා ගුවන් අනතුරින් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද බෝයිං සමාගමේ ප්‍රධානී ඩෙනිස් මුයිලන්බර්ග්ට ඇමතුමක් ලබා දුන්නේය. එම අවස්ථාවේදී මුයිලන්බර්ග් ඇමෙරිකා ජනපතිට සහතික වී ඇත්තේ තම ගුවන් යානා සම්බන්ධයෙන් බොරු බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවය.

කෙසේ නමුත් ඉතියෝපියා ගුවන් යානා අනතුරින් පසු ඊට හේතුව අනාවරණය වෙද්දී, බෝයිං සමාගම නිල නිවේදනයක් නිකුත් කළේ තමන් නිෂ්පාදනය කළ සියලු 737 මැක්ස් ගුවන් යානා භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවය. බෝයිං සමාගම ඔවුන්ගේ 737 මැක්ස් ගුවන් යානා භාවිතයෙන් ඉවත් කළේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS