සඳේ කපු ඇට පැළ වෙලා



සඳේ අඳුරු පැත්තට පතිත කළ චීන රොබෝ ගවේෂණ යානයට සම්බන්ධ කෘත්‍රිම හරිතාගාරයේකපු පුළුන් ඇට පැළවීමට පටන් ගෙන ඇතැයි චීන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි.

චීනය ‘චැංග් ඊ 4’ නමැති එම රොබෝ ගවේෂණ යානය සඳේ අඳුරු පැත්තේ පතිත කළේ පසුගිය 12 වැනිදාය. රොබෝ ගවේෂණය යානයට යූටූ 2 නමැති කුඩා රෝවර් යානයක් ද ඇතුළත් කර තිබුණි. මෙම රෝවර් යානය මේ වනවිට සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතුවල නියැලෙයි.

සඳේ වායු ගෝලයක් නොමැති හෙයින්, සදේ පස් හාරා කිසිදු වගාවක් කිරීම කළ නොහැකිය. සඳේ පස්වල ශාක වගාවකට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය කිසිවක් ද නොමැත.

‘චැංග් ඊ 4’ ගවේෂණ යානයේ නිර්මාණය කළ කුඩා හරිතාගාරය, ජෛව ගෝලයක් ලෙස ක්‍රියා කරන හෙයින්, හිරු එළිය ලෙස කෘත්‍රිම ආලෝකය, වාතය, ජලය සහ අවශ්‍ය පෝෂණය ලැබෙයි.

කපු ඇට පමණක් නොව, අර්තාපල්, බෝංචි සහ ගෝවා ද මෙම කෘත්‍රිම ජෛවගෝලයේ වගා කර ඇති බව විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

කෘත්‍රිම පරිසර තත්ත්වයන් යටතේ සඳේ මෙවැනි වගාවක් සිදු කිරීම අභ්‍යවකාශ ගවේෂණ කටයුතුවල සන්ධිස්ථානයක් බවත්, අනාගතයේ සඳ මතුපිට හරිතාගාර නිර්මාණය කරමින් සඳේ පස්වල වගා ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි තම විශ්වාසය යැයි චීන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය වැඩි දුරටත් කියා සිටී.

සඳ පිහිටා ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් 384,000 ක් දුරිනි.  සඳ පෘථිවිය වටා වරක් පරිභ්‍රමණය (තමන් වටේ කැරැකීම) වීමට දින 27 යි පැය 7 යි මිනිත්තු 43 1/4 ක් ගත වන අතර, තම කක්ෂය වටා වරක් යෑමට ද සඳට එම කාලයම ගත වෙයි.

එහෙයින්, පෘථිවියට පෙනෙන්නේ සඳේ එක් පැත්තක් පමණය. අනෙක් පැත්ත නොපෙනෙන පැත්ත, නොපෙනෙන කලාපය සහ අඳුරු පැත්ත ආදී නම්වලින් හැඳින්වෙයි

අතීතයේ සෝවියට් රුසියානුවන් මෙම අඳුරු පැත්ත ගවේෂණයට යානායක් යවා ඇත. කෙසේ නමුත් අඳුරු පැත්තට පළමුවෙන් යානයක් ගොඩ බෑමට සැලැස්වූයේත්, ගවේෂණ කටයුතු ආරම්භ කළේත් චීනයයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS

RELATED POSTS