හිටපු ප්‍රංශ ජනපති සාර්කෝසිට වැඩ වරදී



දූෂණ චෝදනාවලට වරදකරු වුණු ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාකෝසි ට තෙවසරක සිර දඬුවමක් නියම විය.

ඉන් වසර දෙකක් අඅත්හිටුවීම හේතුවෙන්, සිර දඬුවම වසරක කාලයක් තෙක් අඩු විය.

සාකෝසි අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

එහෙහයින්, මේ මොහොතේ සාකෝසි ට සිර දඬුවම් හිමි නොවනු ඇති බව ප්‍රංශ පුවත් සේවා පෙන්වා දෙයි.

එහෙමන්ම, සකෝසි අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් අධිකරණය නිකුත් කර නැත.

අභියාචනය අසාර්ථක වුවහොත්, වසරක කාලයක් සිරදඬුවම් විදීමට සාකෝසිට සිදුවනු ඇත්තේ නිවසේ සිටය. එය නිවාස අඩස්සියට පත් කිරීමක් හා සමානය.

සාකෝසි ට නිවසින් පිටතට යෑම තහනම් වන අතර එම වසරක කාලයේ සාර්කෝසිට ඉලෙක්ට්‍රොනික පටියක් පැලඳ සිටීමට සිදුවෙයි. එම ඉලෙක්ට්‍රොනික පටිය පැලදීම සිදුවන්නේ පාදයේය.

ඉලෙක්ට්‍රොනික පටිය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන අතර, සාකෝසි නිවසින් පිට වන්නේ නම්, පොලිසියට ඒ බව දැනුම් දීම ස්වයංක්‍රීයව සිදුවෙයි. එය ගලවා ඉවත් කිරීමට පවා හැකි වන්නේ නැත.

66 හැවිරිදි සාර්කෝසි, වරදකරු වූයේ, 2014 වසරේ දී ජනපති ධුරයෙන් සමු ගැනීමෙන් පසු, විනිසුරුවරයකුට අල්ලස් දීමට උත්සාහ කළේ යැයි යන චෝදනා සම්බන්ධයෙනි.

ඒ, සාකෝසිගේ මැතිවරණ ව්‍යාපාරයේ සිදුවුණු මූල්‍ය වංචා සම්බන්ධයෙන් එල්ල වුණු චෝදනා යට ගැසීම සඳහාය.

සාකෝසි ප්‍රංශ ජනාධිපති ධුරය හෙබවූයේ 2007 සිට 2012 තෙක් කාලයේය.

‘වරදක් කරන බව ඔහු දැන සිටියා. ඒත් ඔහු ඒ වරද කළා. ඔහුගේ ක්‍රියාව නීතියට කළ සරදමක්. නීතියේ ප්‍රතිරූපය කෙළසීමක්’ යැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, විනිසුරුවරිය ක්‍රිස්ටීන් මේ ප්‍රකාශ කළාය.

මීට පෙර මේ අයුරින්, අධිකරණය හමුවේ වරදකරුවකු වූ ප්‍රංශ ජනාධිපතිවරයා ජැක් ෂිරාක්ය. ජැක් ෂිරාක්ට 2011 වසරේ දී වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් හිමිවිය. ඒ, ජනපති ධුරයේ සිටිද්දී, පැරිස් නගරසභාවේ ව්‍යාජ තනතුරු පිහිටුවා, සිය ආධාරකරුවන් ඒවාට පත් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට වරදකරු වීමෙනි. ෂිරාක් 2019 දී අභාවප්‍රාප්ත විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS