සී.එන්.එන්. වාර්තාකරු අත්අඩංගුවට



මිනියැපොලිස් නුවර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සජීවී පුවත් වාර්තා කරමින් සිටි ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් නාළිකාවේ මාධ්‍යවේදී ඕමාර් ජිමෙන්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඕමාර් ජිමෙන්ස් කළු ජාතිකයෙකි. පොලිස් නිලධාරීන් පැමිණ මාංචු දමා ඕමාර් ජිමෙන්ස් රැගෙන යන දසුන් පවා සජීවී ලෙස සී.එන්.එන්. පුවත් නාළිකාවෙන් විකාශය විය.

 ඕමාර් ජිමෙන්ස් සමඟ සිටි කැමරාකරු සහ නිෂ්පාදකවරයා ද පොලිස් භාරයට ගැණුනු බව වාර්තා වේ. කෙසේ නමුත් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර තිදෙනා මුදා හැරීමට මිනියැ‍පොලිස් පොලිස් නිලධාරීහු කටයුතු කළහ.

ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ ප්‍රධාන නගරය වන්නේ මිනියැපොලිස්ය. පසුගිය දා මිනියැපොලිස් නුවර සුදු ජාතික පොලිස් නිලධාරීන් තිදෙනකුගේ අත්අඩංගුවේ සිටි කළු ජාතිකයෙක් මියගියේය. ඒ, එක් පොලිස් නිලධාරියකු එම කළු ජාතිකයා බිම පෙරළා ඔහුගේ ගෙල දණහිසින් තද කිරීමෙනි.

එය වාර්ගික පොලිස් ප්‍රචණ්ඩත්වයක් බව පෙන්වා දෙමින් කළු ජාතිකයන් පමණක් නොව, සුදු ජාතිකයන් සහ ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකානුවන් මේ වනවිට මිනියැපොලිස් නුවර වීදි බැස කඩ සාප්පු ගිනි තබමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙති.

‍(රොයිටර්)


RECOMMEND POSTS