සියලු අභියෝගවලට විසඳුම බුදු දහමයි



ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති ධර්ම චක්‍ර දින විශේෂ උත්සවයට සහභාගී වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දුන්නේ බුදුන් වහන්සේගේ දේශනා හරහා ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකිවන බවය.

බුදුන් වහන්සේ දේශනා කළ අෂ්ටලෝක ධර්මය ලෝකවාසීන්ගේ යහපතට හේතුවන ආකාරය පැහැදිලි කිරීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේය.

බුදුන් පෙන්නූ දයාව, කරුණාව සහ සරලබව, පුරාණ සමාජයට පමණක් නොව, අනාගතයට ද එක සේ බලපාන බවත්, වචනයට වඩා ක්‍රියාවෙන් සියල්ල පෙන්විය යුතු බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ධර්ම චක්‍ර දින උත්සවයේ දී අවධාරණය කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බුදු දහමට ලැදි අයකු වන අතර ඉන්දියාවේ බෞද්ධයන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ නායකයකු ලෙස සැලකෙයි.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් (බුද්ධ පරිණිර්වාණය සිදුවුණු කුසිනාරා) නුවර ගුවන්තොටුපොළ සංවර්ධනය කර නවීකරණයට ලක් කරමින්, ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස උසස් කිරීමට අගමැති මෝදි පියවර ගෙන ඇත්තේ ද එහෙයිනි.

කුෂිනගර් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් බවට පත් කිරීමෙන් පසු දඹදිව වන්දනාවේ යන බෞද්ධ බැතිමතුන්ට එය විශාල පහසුවක් වනු ඇතැයි අගමැති මෝදිගේ අදහස වී තිබේ.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS