වූහාන් නුවරට පැනැවූ තහංචි ඉවතට



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම ආරම්භ  වූ හුබෙයි පළාතේ වූහාන් නුවරට මාස දෙකක් තිස්සේ පනවා තිබුණු සියලු තහංචි අද (8) ඉවත් කිරීමට චීන බලධාරීහු කටයුතු කළහ.

චීන බලධාරීන් මෙම තීරණය ගත්තේ වූහාන් නුවරින් නව ආසාදිතයන් කිසිවකු හමු නොවීමත් මරණ කිසිවක් වාර්තා නොවීමත් සැලකිල්ලට ගනිමිනි. ‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් හිස එසවූයේ පසුගිය දෙසැම්බරයේය. එය ලොව පුරා ව්‍යාප්තවීම ආරම්භ වූයේ ජනවාරි මස මැදදීය.

වයිරසයේ අපිකේන්ද්‍රය වූ වූහාන් නුවර ජනවාරියේ සිට සම්පූර්ණයෙන් වසා දැමුණි. කිසිවකුට නගරයට යෑමට හෝ නගරයෙන් පිටවීමට නොහැකි විය. වූහාන් වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි හමුදාව නියෝග කළ අතර, ආසදිතයන් යැයි සැක පුද්ගලයන් බලෙන් අල්ලා ගෙන ගොස් නිරෝධායන කඳවුරුවලට යොමු කෙරුණි.

වයිරසය ව්‍යාප්තිය උත්සන්න වී වූහාන් රෝහල් රෝගීන්ගෙන් පිරී යද්දී, කඩිනමින් නව රෝහල් දෙකක් කොරෝනා රෝගීන් වෙනුවෙන් පමණක් ඉදි කෙරුණි. අද වනවිට එම රෝහල් පවා ගලවා ඉවත් කර දමා තිබේ.

වූහාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS