විඩෝඩෝ දිගටම ඉන්දුනීසියාවේ ජනාධිපති



ඉන්දුනීසියා ජනාධිපතිවරණයේත්, පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණයේත් ප්‍රතිඵල නිකුත් වුණු අතර, දිගටම ධුරයේ රැඳී සිටීමට ජනාධිපති යෝකෝ විඩෝඩෝ සමත් විය.

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණයේත්, පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ පසුගිය අප්‍රේල් 17 වැනිදාය.

ලෝක ඉතිහාසයේ එක් දිනක් තුළ ක්‍රියාත්මක වූ වඩාත් සංකීර්ණ මැතිවරණ ක්‍රියාවලිය මෙය වූවා පමණක් නොව, මැතිවරණ කටයුතු මෙහෙයවමින් ඒවායේ නියැලුණු නිලධාරීන් 300 කට ආසන්න පිරිසක් පීඩනය දරා ගැනීමට නොහැකිව රෝගාබාධවලින් මියගිය ව ද වාර්තා විය. ලොව විශාලතම ඉස්ලාමීය රාජ්‍යයක පැවැත්වූ විශාලතම මැතිවරණය ලෙස වාර්තා අතරට එක් වූයේ ද මෙම මැතිවරණයයි.

ජනාධිපති ධුරය වෙනුවෙන් යෝකෝ විඩෝඩෝට අභියෝගයක් එල්ල වූයේ හිටපු හමුදා ජනරාල් වරයකු වන පරාබෝවෝ සුවියන්තෝගෙනි. ප්‍රතිඵල නිකුත් වෙද්දී, පරාබෝවෝ සුවියන්තෝගේ හිතවාදීන් ජකර්තා අගනුවර කලහ කලන්න වූ අතර, ඔවුන් මර්දනයට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබුණි. ඉන්දුනීසියා පොලිසියේත් හමුදාවේත් 1,300 කට වැඩි නිලධාරීන් පිරිසක් අගනුවර ආරක්ෂාවට යොදවා තිබුණු බව ඉන්දුනීසියා පුවත් සේවා වාර්තා කරයි.

2014 වසරේ පළමුවෙන් ජනාධිපති ධුරයට පත්වුණු යෝකෝ විඩාඩෝ ඉන්දුනීසියා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරයි. සුවියන්තෝ ඉන්දුනීසියා හමුදාවට පක්ෂපතී ජෙරින්ද්‍රා පක්ෂය නියෝජනය කරයි.  උප ජනාධිපති ධුරය වෙනුවෙන් යෝකෝ විඩාඩෝ නම් කරනු ලැබුවේ මාරූෆ් අමීන් ය. සුවියන්තෝ විසින් උප ජනපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළේ සැන්දියේගා යූනෝ ය. ඒ අනුව, මාරූෆ් අමීන්ට ඉන්දුනීසියාවේ උප ජනපති ධුරය හිමිවනු ඇත. ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩාඩෝ ජනතා ප්‍රසාදයට පාත්‍ර වූ අයෙකි.

ඉන්දුනීසියා පාර්ලිමේන්තුව හෙවත් ජනතා මන්ත්‍රණ සභාව ආසන 711 කින් සමන්විතය. එය ජනතා නියෝජිත මණ්ඩලය සහ ප්‍රාදේශීය නියෝජිත මණ්ඩලය ලෙස ආසන 575 ක් සහ 136 ක් වශයෙන් කොටස් දෙකකට බෙදෙයි.

ජකර්තාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS