මැලේසියා අගමැති නිරෝධායනයේ



දින 14 ක්, අග්‍රාමාත්‍ය නිල නිවසේ නිරෝධායනයට ලක් වෙන්නැයි මැලේසියා අග්‍රාමාත්‍ය මුහදීන් යසීන් ට සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මැලේසියානු අග්‍රාමාත්‍යවරයා මෙසේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කෙරුණේ, පසුගිය දා ඔහු හමුවීමට පැමිණි එක් රාජ්‍ය නිලධාරියකු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු ලෙස තහවුරුවීම හේතුවෙනි.

අග්‍රාමාත්‍ය මුහදීන් යසීන් ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇතිදැයි සෙවීමේ වෛද්‍ය පරීක්ෂණයට ද යොමු කර තිබේ. එහිදී ඔහු ආසාදිතයකු නොවන බව තහවුරු වී ඇති නමුත් දින 14 ක් නිල නිවසේ රැඳී සිටින්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත.

‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වූ එම රාජ්‍ය නිලධාරියා අග්‍රාමාත්‍යවරයා හමුවෙද්දී, එහි සිටි සියලු සෙසු නිලධාරීන් ද මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇතැයි මැලේසියානු අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මැලේසියාවෙන් මේ වනවිට ‘කොවිඞ් 19’ ආසාදිතයන් 7,185 දෙනකු වාර්තා වෙයි. මරණ වාර්තා වන්නේ 115 ක් ලෙසය. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 5,912 කි.

ක්වාලාලාම්පූර්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS