පුටින්ට ජනතා කැමැත්ත



ව්‍යවස්ථා සංශෝධයකින් 2036 තෙක් ධුර කාලය දීර්ඝ කර ගැනීමට උත්සාහ ගන්නා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට ඒ සඳහා ජනතා අනුමැතිය හිමිවනු ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා කළේය.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විමසුමක් දින 5 ක් තිස්සේ පැවැත්වෙයි. ජනමත විමසුම අවසන් වන්නේ ලබන 5 වැනිදාය. ජනමත විමසුම දින 5 ක් තිස්සේ පැවැත්වෙන්නේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයෙන් රුසියාවට එල්ල වන බලපෑම නිසාය.

ජනතාව අනතුරේ නොදමා ජනමත විමසුම පැවැත්වීමට කටයුතු කරන්නැයි පුටින්, එරට මැතිවරණ බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණි. ඒ අනුව, ජනතාවට නිදහසේ පැමිණ පෝළිම්වල රැඳී නොසිට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලසා දෙමින්, ජනමත විමසුම දින 5 ක් තිස්සේ පැවැත්වීමට මැතිවරණ බලධාරීහු තීරණය කළහ. රුසියානු ඉතිහාසයේ මේ අයුරින්, දින පහක් තිස්සේ ජනමත විමසුමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ඡන්ද ගණන් කිරීම දිනපතා සිදුවන අතර, මේ වනවිට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව, සියයට 74 ක ප්‍රතිශතයක් ව්‍යවස්ථා සංශෝධනයකට කැමැත්ත පළ කර ඇතැයි පැවැසෙයි. ව්‍යවස්ථා සංශෝධනයට අකමැත්ත පළ කර ඇත්තේ සියයට 25 ක ප්‍රතිශතයක් පමණි. පුටින්ගේ ධුර කාලය ලබන 2024 වසරෙන් අවසන් වෙයි. ව්‍යවස්ථා සංශෝධන හරහා 2036 තෙක් පුටින් ධුරයේ රැඳී සිටීමට උත්සාහ ගන්නේ, වසර 6 බැවින් වූ තවත් ධුර කාල දෙකක් සම්පූර්ණ කරමිණි.

තමාට දිගටම බලයේ රැඳී සිටීමට, ජනපති ධුර කාලය දීර්ඝ කර ගන්නා බව පුටින් පවසා නැත. 2024 වසරෙන් පසු ධුරයේ රැඳී සිටින බව ද පුටින් පවසා නැත. කෙසේ නමුත් මර්දනයට ලක් වුණු රුසියන් විපක්ෂ දේශපාලන පක්ෂ පෙන්වා දෙන්නේ පුටින් නිසැකවම ජනපති ධුරයේ රැඳී සිටිනු ඇති බවය. රටේ ස්ථාවරත්වය, ආරක්ෂාව සහ සමෘද්ධිය වෙනුවෙන් ගත් මෙම තීරණයට ගරු කරන්නැයි ජනමත විමසුමට පෙර පුටින්, රුසියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS