පාකිස්තානයේ ගම්මානයක ඒඞ්ස් රෝගීන් 607 ක්



පාකිස්තානයේ රොටෝඩෙරා නමැති ගම්මානයෙන් ඒඞ්ස් රෝගීන් 607 ක් හමුවී ඇති බවත්, ඔවුන්ගෙන් 75 දෙනකු කුඩා දරුවන් බවත් පැවැසෙයි.

පාකිස්තාන සෞඛ්‍ය බලධාරීන් පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ ගැන දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

මීට සති කීපයකට පෙර, එච්අයිවී රෝගියකු සඳහා භාවිත කළ එන්නත් කටුවකින්, 90 දෙනකුට එන්නත් ලබා දුන් පාකිස්තාන වෛද්‍යවරයකු ද අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

එම රෝගීන් 90 දෙනා අතර කුඩා දරුවන් 45 දෙනකු සිටින බව ද පැවැසිණි. මෙම වෛද්‍යවරයා ලර්කානා නමැති පිටිසරබඳ කුඩා නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයකු බවත්, වෛද්‍යවරයා ද එච්අයිවී ආසාදිතයකු බවත් පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය විය.

ලර්කානා නගරයේ දරුවන් පිරිසක් රෝගී වී ඔවුන් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ ඔවුන් එච්අයිවී ආසාදිතයන් බව හඳුනා ගෙන ඇත. සෞඛ්‍ය පරීක්ෂකයන්, දරුවන් එච්අයිවී ආසාදිතයන් වූයේ කෙසේ දැයි කඩිනමින් පරීක්ෂණ පවත්වද්දී වෛද්‍යවරයා ගැන දැනගන්න ලැබී ඇත.

ඒ අනුව, වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගත් සියලුම රෝගීන් ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව, සෞඛ්‍ය බලධාරීන් පමණක් නොව පොලිසිය ද සඳහන් කර තිබේ.

මෙම සිදුවීමෙන් පසු පාකිස්තාන සෞඛ්‍ය බලධාරීන් පාකිස්තානයේ ගම්මාන රැසක් ඉලක්ක කර ගනිමින් වෛද්‍ය කඳවුරු ක්‍රියාත්මක කළ අතර, රොටෝඩෙරා ගම්මානයෙන් ඒඞ්ස් රෝගීන් හමුවී ඇත්තේ ඒ අනුව යැයි ද පැවැසෙයි.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS