නොදැක්කා සේ ඉන්න බැහැ



වර්ගවාදය ඉවසිය නොහැකි බවත් වර්ගවාදී ක්‍රියාකාරකම් සිදුවෙද්දි නොදැක්කා සේ සිටිය නොහැකි බවත් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අද (3) ප්‍රකාශ කළහ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මරණයට පත්වී මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාප්තුමෝ ඒ බව සඳහන් කළහ. එහෙත් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු මිනියැපොලිස් නගරයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාද පාප්තුමන්ගේ විවේචනයට ලක්විය.

මිනියැපොලිස් නගරයේ ඇති වූ විරෝධතා ‘‘ස්වයං-විනාශයක් සහ ස්වයං-පරායක්’’ යැයි ද පාප්තුමෝ කීහ.

‘‘අපිට කිසිසේත්ම වර්ගවාදය ඉවසන්න බැහැ. වර්ගවාදය පැතිර යද්දි නොදැක්කා සේ ඉන්න බැහැ. ඇස් කන් පියං ඉන්න බැහැ. එහෙත් ප්‍රචණ්ඩත්වයෙන් කිසිවක් ලබාගන්නත් බැහැ. ප්‍රචණ්ඩත්වයෙන් වෙන්නේ මහා විනාශයක්’’ යැයි පාප්තුමෝ පැවැසූහ.

‘‘වර්ගවාදී පාපයේ ගොදුරවක් වී ජීවිත අහිමි වූ සියලුදෙනා වෙනුවෙන් අපි යාඥා කරමු’’ යැයි ද පාප්තුමෝ කීහ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් හි පොලිසියේ සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත්විය. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ රටපුරා විරෝධතා ඇති වූ අතර මේ වනවිට තවත් රටවල් රැසකට ව්‍යාප්ත වී ඇත. පොලිස් ප්‍රචණ්ඩත්වයට විරුද්ධව සාමකාමී අයුරින් ආරම්භ වූ විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.

ඒ.එෆ්.පී.

 


RECOMMEND POSTS