නිවසින් පිටවෙද්දී මාස්ක් පලඳින්න



‘කොවිඞ් 19‘ වසංගතය හේතුවෙන් නිවසින් පිටතට යද්දී මුහුණු ආවරණ (මාස්ක්) පලදින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට ලොව සෑම කෙනකුටම උපදෙස් දී ඇත. නිවසින් පිටතට යද්දී මුහුණු ආවරණ පලඳින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ උපදෙස් දුන්නේ පළමු වතාවටය.

රෝගී තත්ත්වයක් නැතිනම්, රෝගියෙකු ළඟින් ඇසුරු කරන්නේ නැතිනම් සාමාන්‍ය ජනතාව මුහුණු ආවරණ පැලැඳීම අවහ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේ ‘කොවිඞ් 19’ වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ අවස්ථාවේදීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය එම අවස්ථාවේදී පෙන්වා දුන්නේ ‘කොවිඞ් 19’ රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පමණක් සහ ‘කොවිඞ් 19’ රෝගීන් රැකබලා ගන්නා පුද්ගලයන් පමණක් මුහුණු ආවරණ පැලැඳීම යෝග්‍ය බවය.

‘කොවිඞ් 19’ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන් සිටින බැවින්, නිවසින් පිට යන්නේ නම් ඕනෑම අයකු මුහුණු ආවරණ පලඳින්නේ නම් එය සුදුසු බව දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් උපදෙස් ලබා දීම සිදු කර ඇත්තේ වෛද්‍ය  මරියා වැන් කෙර්කෝව් ය.

කෙසේ නමුත් මුහුණු ආවරණ පලඳින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දීමට පෙර සිට ලොව රටවල් රැසක සෞඛ්‍ය අංශ ජනතාවට පවසා තිබුණේ නිවසින් බැහැරව යන්නේ නම් මුහුණු ආවරණ පැලැදීම කළ යුතු බවය. ඇතැම් රටවල මුහුණු ආවරණ පැලැඳීම නීතිගත වී ඇති අතර, මුහුණු ආවරණ නොමැතිව නිවසින් පිටතට ගියහොත් එය සිරදඬුවම් ලැබිය හැකි වරදකි.

රෝගී වූවත් නැතත් මුහුණු ආවරණ පැලැඳීමෙන් ‘කොවිඞ් 19’ වයිරසයෙන් ආරක්ෂා විය හැකි බව පළමුවෙන් පැවැසුවේ චීන වෛද්‍යවරුන්ය. ඉන්ෆ්ලුවෙන්සා, සර්ස් වැනි වසංගත හේතුවෙන් චීන, හොංකොං, දකුණු කොරියා සහ තායිවාන වැසියෝ වැඩි පරිස්සමට මුහුණු ආවරණ පලඳිති.

‘කොවිඞ් 19’ හේතුවෙන්  මුහුණු ආවරණ පලඳින්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දුන් උපදෙස් අනුව ක්‍රියා කළ පළමු රට වන්නේ වෙනිසියුලාවය. ඉන්පසු වියනාමය, චෙක් ජනරජය, ස්ලොවේකියාව, බොස්නියාව, කොලොම්බියාව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, කටාර් රාජ්‍යය, ඔස්ටි්‍රයාව, මොරොක්කෝව, තුර්කිය, එල් සැල්වදෝරය, චිලී රාජ්‍යය මුහුණු ආවරණ පැලැඳීම අනිවාර්ය කළේය.

කැමරූන්, ඇන්ගෝලා, බෙනින්, බුර්කිනා ෆාසෝ, ගිනියා, ඝානා, ඉතියෝපියා, ලැබොන්, කෙන්යා, ලයිබීරියා, සැම්බියා, රුවන්ඩා, සියාරා ලියොන් ඇතුළු අප්‍රිකානු රටවල් ද මුහුණු ආවරණ පැලැඳීම අනිවාර්ය කර තිබේ.

ඊට අමතරව ඊශ්‍රායලය, ආජන්ටිනාව, පෝලන්තය, ලුක්සෙම්බර්ග්, ජැමෙයිකා, ජර්මනිය, බහාරේන්, හොන්ඩුරාස්, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ පාකිස්තානය යන රටවල සෞඛ්‍ය බලධාරීන් ද සාමාන්‍ය ජනතාවට උපදෙස් දී ඇත්තේ නිවසින් පිට යන්නේ නම් මුහුණු ආවරණ පැලැඳිය යුතු බවය.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS