දිවුරුම් දෙයි



ශ්‍රී  ලංකාවේ 9 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (9) දිවුරුම් දුන්නේය.

දිවුරුම්දීමේ උත්සවය කැලණිය රජ මහා විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය.

ඒ් අනුව මහින්ද රාජපක්ෂ මහතා අද අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.

1945 වසරේ උපත ලැබු මහින්ද රාජපක්ෂ මහතා 1967 දේශපාලනයට පිවිසි අතර 1970 දී මෙරට ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පළමුවරට තේරී පත්වුණි.

ශ්‍රි ලංකාවේ 5 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2005 වසරේ සිට 2015 වසර තෙක් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා 2004,2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර මෙවර අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ සිව්වන වරටයි.

2005 වසරේ සිට 2015 දක්වා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කර රට මුදාගැනීමට නායකත්වය ලබාදුන්නේය.

2015 වසරේ දී අනපේක්ෂිත පරාජයක් ලැබුව ද යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් විපක්ෂ නායකවරයෙකු ලෙසත් ජනතා දේශපාලනයට කැපවූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.

අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ අවස්ථාවට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්, රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 

මේ අතර නව අමාත්‍ය මණ්ඩලය ලබන 14 වන දා මහනුවර මඟුල්මඩුවේ දී දිවුරුම්දීමට සැලසුම් කර තිබේ.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS