දැන් සාමකතා පටන් ගනිමු



තවත් පස් වසරක කාලයක් ඉන්දියාවේ අගමැති ධුරය හෙබවීමට අති විශිෂ්ට ජනවරමක් හිමි නරේන්ද්‍ර මෝදිට ට්විටර් පණිවුඩකින් සුබ පැතූ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියා සිටියේ මැතිවරණ කටයුතු අවසන් වූ බැවින්, සාම කතා ආරම්භ කිරීමට අවස්ථාව උදා වී ඇති බවය.

ඉම්රාන් ඛාන්, පාකිස්තානයේ අගමැති ධුරයට පත්වූයේ පසුගිය වසරේය. එම අවස්ථාවේදී, ඉම්රාන් කියා සිටියේ, ඉන්දු පාකිස්තාන අර්බුදය විසඳීමට ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කරන බවය. කෙසේ නමුත් බෙදුම්වාදී ඉස්ලාමීය ත්‍රස්තයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සාම කතා සඳහා අවස්ථාවක් හිමි වූයේ නැත.
පසුගිය පෙබරවාරි 14 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පුල්වාමා පළාතේ දී ඉන්දීය දේශසීමා පොලිස් මුර භටයන් පිරිසක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරය එල්ල කළේ පාකිස්තාන රජයේත්, එරට බුද්ධි අංශයේත් අනුග්‍රහය ලබන ජයිෂ් ඊ මොහොමද් ඉස්ලාමීය ත්‍රස්ත කල්ලිය යැයි චෝදනා නැගුණි. එම ප්‍රහාරයෙන් පසු, ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තාන ගුවන් සීමාව උල්ලංගනය කරමින්, ජයිෂ් ඊ මොහොමද් පුහුණු කඳවුරකට බෝම්බ දැමීය.

ඊට විරෝධය දැක්වීමක් ලෙස පාකිස්තාන ගුවන් හමුදාව ඉන්දීය ප්‍රහාරක යානාවලට පහර දුන්නේය. එක් ඉන්දීය ප්‍රහාරක යානයක් කඩා  වැටුණු අතර, පාකිස්තාන හමුදාව එහි නියමුවා අත්අඩංගුවට ගත්තේය.
ඒ සමඟ න්‍යෂ්ටික බලවතුන් ද වන ඉන්දියාවත් පාකිස්තානයත් අතර යුද උණුසුමක් නිර්මාණය විය. කෙසේ නමුත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මැදිහත් වී, එම නියමුවා ආපසු ඉන්දියාවට බාර දුන්නේය. ඒ සමඟ හටගත් යුද උණුසුම පහව ගියේය.

ඉන්දීය අගමැති මෝදි සහ පාලක භාරතීය ජනතා පක්ෂය ඒ වනවිට ඉන්දීය මහ මැතිවරණයට සූදානම් වෙමින් සිටියේය. පාකිස්තානයෙන් එල්ල වූ ප්‍රහාරය මෝදි සහ ජනතා පක්ෂයට ඔවුන්ගේ ජාතිකවාදී ආකල්ප ප්‍රචලිත කිරීමට ලොකු ශක්තියක් විය.

සාම කතා කරමු යැයි පාකිස්තාන අගමැති ඉම්රාන් එම අවස්ථාවේදී යෝජනා කළත්, මෝදි රජය තරයේ එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

අර්බුදය මුල්කොට ගනිමින්, ඉන්දියානුවන් තුළ ජාතිකවාදී හැඟීම් ඉස්මතු කිරීමට අගමැති මෝදි උත්සාහ ගන්නා බැවින්, මැතිවරණය අවසන් වනතුරු බලා සිට මෝදි යළි ජයග්‍රහණය කළොත්, ඉන්දු පාකිස්තාන සාම කතා ආරම්භ කිරීමට තමන් මැදිහත් වන බව එම අවස්ථාවේදී අගමැති ඉම්රාන් ඛාන් පවසා තිබුණි.
එය ද යළි සිහිපත් කරමින්, අගමැති ඉම්රාන් මෝදිට යැවූ ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත්තේ, කඩිනමින් සාම කතා ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසය.

‘මම අගමැති මෝදිට සුබ පතනවා. භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තා. සාමය වෙනුවෙන් ඔහු සමඟ කටයුතු කරන්න තමන් සූදානම්. දකුණු ආසියාවේ සාමය සහ සමෘද්ධිය වෙනුවෙන් මෝදි සමඟ එක් වී කටයුතු කරන්න මම සූදානම්’ යැයි අගමැති ඉම්රාන් ඛාන්ගේ ට්විටර් පණිවුඩයෙහි සඳහන් වෙයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS