තලේබාන් සටන් විරාමයක්



රාමදාන් වෙනුවෙන් තෙදින සටන් විරාමයකට තමන් කැමැති බව ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන තලේබාන් ත්‍රස්ත සංවිධානය ඇෆ්ගන් රජයට දන්වා ඇත.

ලොව පුරා මුස්ලිම් බැතිමතුන්ගේ රාමදාන් උත්සව සමය මේ වනවිට ආරම්භ වී ඇත. මාසයක් තිස්සේ පැවැති උපවාස ශීලය අවසන් වූයේ නව සඳ දැකීමත් සමඟය. රාමදාන් උත්සව සමය ඒ අනුව ආරම්භ වුවත්, සෙසු මුස්ලිම් රටවල මුස්ලිම් බැතිමතුන්ට සේම, ඇෆ්ගනිස්තානයේ මුස්ලිම් බැතිමතුන්ට ද ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් සමාජ දුරස්ථභාවය රැකගෙන කටයුතු කිරීමට සිදුවී ඇත.

ඇෆ්ගන් තලේබාන් සංවිධානය දේශපාලන අංශය සහ සන්නද්ධ අංශය ලෙස කොටස් දෙකකි. ඇමෙරිකාව සමඟ පසුගිය කාලය පුරාවට සාම සාම සාකච්ඡා පවත්වමින් දේශපාලන විසඳුමක් ලබා ගැනීමට උත්සාහ ගත්තේ තලේබාන් දේශපාලන අංශයයි. බෝම්බ පුපුරුවමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ සන්නද්ධ අංශයයි.
තලේබාන් සන්නද්ධ අංශය කණ්ඩායම් කීපයකට බෙදී සිටින අතර ඇතැම් කණ්ඩායම් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් සමඟ හවුල් වී කටයුතු කරයි. මෙවැනි කණ්ඩායම් තලේබාන් දේශපාලන අංශයට කීකරු නොවන බව විදෙස් බුද්ධි අංශ පවසා ඇත.

මීට දින කීපයකට පෙර, කාබුල් නුවර මාතෘ රෝහලකට තලේබාන් ත්‍රස්තයෝ කඩා වැදී පහර දුන්හ. මෙම රෝහල විදෙස් ආධාර මත පිහිටුවූවකි. එල්ල වුණු එම ප්‍රහාරය, ඉතා කුරිරු ම්ලේච්ඡ එකක් විය.  ගැබිනියන් සහ අලුත උපන් බිලිඳුන් පවා ජීවිතක්ෂයට පත්වුණැයි වාර්තා විය.

ඇෆ්ගන් සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකාව සහ තලේබාන් දේශපාලන අංශය සටන් විරාමයකට සියල්ල සූදානම් කර තිබෙන අවස්ථාවකය. ප්‍රහාරයෙන් පසු ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී කියා සිටියේ තලේබාන් ත්‍රස්තයන්ට එරෙහි හමුදා මෙහෙයුම් යළි ආරම්භ කරන බවය. ඒ අනුව, මාස කීපයකට පසු යළිත් සටන් ආරම්භ විය.

උපවාස සමය අවසන් වී රාමදාන් උත්සව සමයේ ඇරැඹීමත් සමඟ තෙදින සටන් විරාමයකට යෑමට තලේබාන් සංවිධානය ගත් තීරණයට තමන් ගරු කරන බව ඇෆ්ගන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පසුගිය 2018 වසරේ දී ද මේ අයුරින් රාමදාන් උත්සව සමය වෙනුවෙන් සටන් විරාමයක් ආරම්භ වුවත් එය ක්‍රියාත්මක වූයේ පැය කීපයකට පමණක් බව ඇෆ්ගන් රජය සිහිපත් කරයි.

ඇෆ්ගනිස්තානයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිරෙයි. ඊයේ (23) දිනයේ පමණක් හමුවුණු ආසාදිතයන් ගණන 782 කි. ඒ අනුව, රාමදාන් උත්සව සැමරුම් පැවැත්වෙන්නේ දැඩි තහංචි යටතේය. ඇෆ්ගනිස්තානයේ වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ කාබුල් අගනුවරිනි. පසුගිය පැය 24 ඇතුළත කාබුල් අගනුවරින් වාර්තා වූ ආසාදිතයන් ගණන 377 කි. ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඞ් 19’ ආසාදිත මරණ 216 ක් වන අතර සමස්ත ආසාදිතයන් ගණන 10,000 ඉක්මවා ඇතැයි ඇෆ්ගන් සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කාබූල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS