ට්‍රම්ප් - කිම් හමුවෙති



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව අද (27) සවස පැවැත්විණි.

නායකයන් දෙදෙනා එකිනෙකා උණුසුම් අයුරින් පිළිගෙන ආ ගිය තොරතුරු කතාබහ කළේ වියට්නාමයේ හැනොයි අගනුවර තරු පහේ මෙට්‍රෝපෝල් හෝටලයේය.

ආ ගිය තොරතුරු කතා කිරීමෙන් විනාඩි 20 කට පසු නායකයෝ දෙදෙනා රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූහ. මෙට්‍රෝපෝල් හෝටලයට පළමුවෙන් පැමිණියේ ඇමෙරිකා ජනාධිපතිවරයාය. ආරක්ෂක අංශ නිලධාරීන් ද පිරිවරා ගනිමින් උතුරු කොරියා නායකයා පැමිණියේ පසුවය.

තමා සහ කිම් ජොන් උන් අතර පැවැති පළමු හමුව සාර්ථක වූ බවත්, තමා සහ කිම් ජොන් උන් අතරේ විශේෂ මිත්‍රත්වයක් වර්ධනය වූ බවත් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය. පළමු හමුව මෙන් නොව, මෙම දෙවැනි හමුව ඊටත් වඩා සාර්ථක වේවි යැයි තම විශ්වාසය බව ජනපති ට්‍රම්ප් පෙන්වා දුන්නේය. ට්‍රම්ප් සහ කිම් අතරේ සාකච්ඡා හෙට (28) පැවැත්වෙයි.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ගේ හමුව වෙනුවෙන්, මෙට්‍රෝපෝල් හෝටලයට පමණක් නොව, හැනොයි අගනුවර ද විශේෂ ආරක්ෂාවක් යෙදවා තිබේ. වියට්නාම හමුදාවේත් පොලිසියේත් විශේෂ බළඇණි කිහිපයක් ආරක්ෂාවට යොදවා ඇති බව පැවැසෙයි. මාර්ග රැසක් වසා දමා තිබුණු අතර නගරයට ඉහළ ගුවන් කලාපය තහනම් ගුවන් කලාපයක් ලෙස නම් කර තිබුණි.

භෝජන සංග්‍රහයට ජනපති ට්‍රම්ප්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ, ඇමෙරිකා ජනපති මාණ්ඩලික ප්‍රධානී මයික් මුල්වානී සහ භාෂා පරිවර්තක ලී යුන් හයංග්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්, කොරියා කම්කරු පක්ෂ සභාපති කිම් යොංග් චෝල්, උතුරු කොරියා විදේශ ඇමැති රී යොංග් හෝ සහ භාෂා පරිවර්තක සිං යේ යොං භෝජන සංග්‍රහයට එක් වූහ.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, උතුරු කොරියා නායකයා හමුවී අතට අත දෙමින් ඔහු පිළිගත්තේ තමාගේ ‘හොඳම මිතුරා’ කිම් ජොන් උන් බව පවසමිනි. ජනපති ට්‍රම්ප් සහ කිම් ජොන් උන් පළමුවරට එකිනෙකා හමුවූයේ පසුගිය වසරේ ජූනි 6 වැනිදාය. එම හමුව පැවැත්වූයේ සිංගප්පූරුවේදීය. උතුරු කොරියා නායකයා සහ ඇමෙරිකන් ජනාධිපති අතර එම ඓතිහාසික හමුව සිදුවීමට මඟ පෑදුවේ, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ මැදිහත් වීමෙන් සහ චීන ජනාධිපති ෂී ජින් පින්ගේ අනුග්‍රහයෙනි.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ගේ දෙවැනි සමුළුව වෙනුවෙන් වියට්නාමය සහ හැනොයි අගනුවර තෝරා ගැනීම සිදුවූයේ වියට්නාමය ඇමෙරිකාව සමඟත් උතුරු කොරියාව සමඟත් යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන බැවිනි. වියට්නාමය ද උතුරු කොරියාව සේම කොමියුනිස්ට් රාජ්‍යයකි.

ඇමෙරිකා යුද්ධයෙන් පසු, වියට්නාමය කොමියුනිස්ට් රාජ්‍යයක් ලෙස ලෝකයට විවෘත විය. ඒ, නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමිනි. වියට්නාමය පෞද්ගලික අංශයට ද අවස්ථාවක් ලබා දෙමින් ලෝකය සමඟ ආයෝජන ඇති කර ගත්තේය.

එහි ප්‍රතිඵලයක් ලෙස 1994 දී ඇමෙරිකා ජනාධිපති බිල් ක්ලින්ටන් ඇමෙරිකාව විසින් වියට්නාමයට පනවා තිබූ සම්බාධක ලිහිල් කළේය. වියට්නාමය අද දියුණු මෙන්ම ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන රටක් බවට පත් වී ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට පවසා ඇත්තේ උතුරු කොරියාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම් රැසක් ඇති බවය.

උතුරු කොරියාව, ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු මුළුමනින්ම නවත්වා, න්‍යෂ්ටික අවිහරණයක් කරන්නේ නම්, උතුරු කොරියාවට ආසියාවේ ආර්ථික බලවතකු වීමට හැකියාව ඇති බව ද ජනපති ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට පෙන්වා දුන්නේය.

හැනොයිහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS