ට්‍රම්ප් නියෝජිතයා පාර්ලිමේන්තු කමිටුවට කැඳවයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමේ අරමුණ ඇතිව, තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පැවැත්වීමට පත් කළ විශේෂ සාම නියෝජිත සැල්මේ කලීසාද් පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර ඇත.

සැල්මේ කලීසාද් කැඳවා ඇත්තේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ විශේෂ කමිටුව අබියසටය. ඒ, ඇමෙරිකා තලේබාන් සාම  කතා අසාර්ථක වූයේ කෙසේදැයි පැහැදිලි කිරීම සඳහාය. සැල්මේ කලීසාද් ලබන සතියේ එම කටිමුව ඉදිරියේ පෙනී සිටිමින් කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

මාස ගණනාවක් තිස්සේ සැල්මේ කලීසාද් ඇමෙරිකාව නියෝජනය කරමින් තලේබාන් නියෝජිතටයන් හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ, දෝහා කටාර් හි තලේබාන් සාම කාර්යාලය හරහාය.

එම සාම කතා සාර්ථක වූ අතර, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ තලේබාන් නියෝජිතයන් ඇමෙරිකාවට ගෙන්වා ඇමෙරිකාවේ කෑප්ම් ඬේවිඞ් කඳවුරේ අවසන් සාකච්ඡා පැවැත්වීමට සියල්ල සූදානම් වී තිබුණි. ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකන් සොල්දාදුවන් ඉවත් කර ගන්නැයි තලේබාන්වරුන් කළ ඉල්ලීමට ද ඇමෙරිකාව එකඟ වී තිබුණි.

සාම කතා නැවැත්වීමට ජනපති ට්‍රම්ප් තීරණය කළේ, මීට දිනකීපයකට පෙර ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මුල්කොට ගනිමිනි.  එම ප්‍රහාරය එල්ල කළේ තලේබාන් සංවිධානයේ කැරැලිකාර කණ්ඩායමකි. අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ද මේ වනවිට ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ එක් වී සිටී.

(අල් ජසීරා)


RECOMMEND POSTS