ජෝජ් ෆ්ලොයිඞ්ට සමුදෙති



පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය 46 හැවිරිදි කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ් වෙනුවෙන් විශේෂ ගුණ සැමරුමක්, මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවරදී පැවැත්වුණු අතර ඊට දහසකට වැඩි පිරිසක් එක් වූහ.

ගුණ සැමරුම පැවැත්වූයේ මිනියැපොලිස් ප්‍රධාන දෙව් මැදුරේ පැවැති විශේෂ දේව මෙහෙයකින් අනතුරුවය. ගුණ සැමරුමට, ෆ්ලොයිඞ්ගේ පවුලේ ඥාතීන්, පෙම්වතිය සහ හය හැවිරිදි දියණිය සහභාගී වූ බව ද වාර්තා වේ.

ඊට අමතරව ෆ්ලොයිඞ්ගේ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉල්ලන සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් ඇතුළු වීදි බැස විරෝධතා පවත්වන මිනියැපොලිස් වැසියෝ ද එක් වී සිටියහ. ගුණ සැමරුම ෆේස්බුක් හරහා සජීවීව විකාශය කෙරුණි.

මිනියැපොලිස් නුවර පදිංචිවී සිටියත් ජෝජ් ෆ්ලොයිඞ්ගේ උපන් නගරය වන්නේ ටෙක්සාස් ජනපදයේ හූස්ටන් ය. ෆ්ලොයිඞ්ගේ දේහය හූස්ටන් වෙත රැගෙන යනු ලැබුණු අතර, හූස්ටන් නගරාධිපති සිල්වෙස්ටර් ටර්නර් කියා සිටියේ දේහය හෙට (5) දිනයේ භූමදානය කිරීමට නියමිත බවය.

මේ අතර ෆ්ලොයිඞ්ගේ සොයුරු පිලිනෝයි මැදිහත් වීමෙන් ෆ්ලොයිඞ්ගේ අවමංගල කටයුතු වෙනුවෙන් සහ කුඩා දියණිය වෙනුවෙන් අරමුදල් රැස් කර ඇති බවත්, ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදලක් මේ වනවිට එකතු වී ඇති බවත් වාර්තා වේ.

ජෝජ් ෆ්ලොයිඞ් මියගියේ පසුගිය 25 වැනිදාය. ජෝජ් ෆ්ලොයිඞ් ඝාතන සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිවුදෙනාටම මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත. පොලිස් නිලධාරීන් සිවුදෙනා ලබන සතියේ අධිකරණය හමුවට යොමු කිරීමට නියමිත බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

ෆ්ලොයිඞ්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පූර්ණ මරණ පරීක්ෂණයක් තහවුරු වී ඇත්තේ ඔහු ‘කෝවිඞ් 19’ ආසාදිතයකු බවය.මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් වැසියකු වන ෆ්ලොයිඞ්ගේ පූර්ණ මරණ පරීක්ෂණයක් පැවැත්වූයේ මිනසෝටා නීතිපතිවරයාගේ උපදෙස් මතය. ප්‍රධාන මරණ පරීක්ෂක ඇන්ඩෲ බේකර් පවසා ඇත්තේ ෆ්ලොයිඞ්ගේ සිරුරේ තිබී ‘කොවිඞ් 19’ විෂබීජ හමුවුණු බවත්, ඔහු ඌණ ආසාදිතයකු වූ බවත්ය.

මිනියැපොලිස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS