ජපන් අගමැති සමඟ ගොල්ෆ් සෙල්ලම් කරයි



සිවු දින සංචාරයක් සඳහා මෙලානියා ද සමඟ ජපානයට පැමිණ සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජපන් අගමැති  ෂෙන්සෝ අබේ සමඟ ගොල්ෆ් ක්‍රීඩාවකට එක් විය.

නිල වශයෙන් ද්වී පාර්ශ්වීක සාකච්ඡා ආරම්භ කිරීමට පෙර අද උදෑසන ට්‍රම්ප් සහ අබේ ගොල්ෆ් ක්‍රීඩා කරද්දී මෙලානියා සහ ජපන් අගමැති බිරිඳ අකෙයි අබේ ටෝකියෝ නුවර ඩිජිටල් කලාගාරය නැරැඹීමට ගියහ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා, එයාර් ෆෝස් 1 නිල ගුවන් යානයෙන් ටෝකියෝවට පැමිණියේ පසුගිය 24 වැනිදාය. එහිදී ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ට්‍රම්ප් සහ මෙලානියා ටෝකියෝ පැමිණ මිනිත්තු කීපයක් ගත වෙද්දී, ටෝකියෝ අගනුවර සිට සැතපුම් 48 ක් දුරින් භූමි කම්පාවක් ද හටගත්තේය. භූමි කම්පාවෙන් මොබාරා නගරය කැලඹිණි. කෙසේ නමුත් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවූයේ නැත.

ජපානය දූපත් රාජ්‍යයක් වන අතර පිහිටා ඇත්තේ භූ තැටි මායිමක් අසලය. එහෙයින් භූමි කම්පා හටගැනීම සාමාන්‍ය දෙයකි.

ජනාධිපති ට්‍රම්ප් සහ මෙලානියා ජපානයේ ටෝකියෝ බලා පැමිණියේ පැය 12 ක ගුවන් ගමනකින් පසුවය.

අතරමඟදී ඔවුහු ඇලෙස්කාවට ගොස් ඇලෙස්කාවේ ඇමෙරිකන් සොල්දාදුවන් හමුවීමට අමතක නොකළාහ. ජනපති ට්‍රම්ප් ඇමෙරිකන් සෙබළියන්ගේ සෙල්ෆි ඡායාරූපවලට ද පෙනී සිටියේය.

ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS