ජනපති ට්‍රම්ප්ට ආගමික නායකයන්ගේ අප්‍රසාදය



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරට ආගමික නායකයන්ගේ අප්‍රසාදය එල්ල වී ඇතැයි එරට පුවත් සේවා  වාර්තා කළේය.

ජනපතිවරයා මෙසේ ආගමික නායකයන්ගේ අප්‍රසාදයට ලක් වූයේ පොලිස් අත්අඩංගුවේ සිට මියගිය ජෝජ් ෆ්ලොයිඞ් නමැති කළු ඇමෙරිකානුවාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා වීදි බැස විරෝධතා පවත්වන විරෝධතාකරුවන් නිර්දය ලෙස මර්දනය කරන්නැයි උපදෙස් දී ඇති බැවිනි.

මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවරින් ආරම්භ වුණු විරෝධතා මේ වනවිට ඇමෙරිකාවේ සෑම ප්‍රධාන නගරයකටම පාහේ පැතිර ගොස් ඇත. කළු ජාතිකයන්ගේ අයිතීන් සුරකින ලෙසත් ජෝජ් ෆ්ලොයිඞ් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන ලෙසත් විරෝධතාකරුවෝ බලපෑම් කරති.

විරෝධතා ඇරැඹුණේ සාමකාමීවය. කෙසේ නමුත් පොලිසිය මැදිහත් වී පිරිස විසිරුවා හැරීමට උත්සහ ගැනීමත් සමඟ විරෝධතා ප්‍රචණ්ඩකාරී විය. කඩසාප්පු කොල්ල කෑම්, පොලිස් ස්ථාන ගිනි තැබීම් ආදිය සිදුවිය.

වොෂින්ටන් අගනුවරට ද විරෝධතා පැතිර ගොස් ඇති අතර ධවල මන්දිරය ඉදිරිපිට ද විරෝධතාකරුවෝ රැඳී සිටිති. ධවල මන්දිරයට නුදුරින් පිහිටි ඉපිස්කොපල් ක්‍රිස්තියානි දෙව් මැදුරට ජනපති ට්‍රම්ප් ඇවිද ගියේය.

ට්‍රම්ප්ට දෙව් මැදුර වෙත යෑමට ඉඩ සලසා සෙමින් පොලිසිය, පහර දෙමින්, රසායනික වායු සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සාමකාමීව වීදි බැස සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරියේය. දෙව්මැදුරට ගිය ට්‍රම්ප්, ශුද්ධ වූ බයිබලය අතින් ගෙන ඡායාරූපයකට පෙනි සිටියේය. වොෂින්ටන් ආගමික නායකයන්ගේ විරෝධයට හේතුවක් වූයේ මෙම සිදුවීමය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS