කේරළ ගුවන් අනතුරින් 14 ක් මරුට



ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදු වූ ගුවන් අනතුරින් 14 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු සහ පොලීසය සඳහන් කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර සිට පැමිණි ‘එයාර් ඉන්දියා එක්ස්ප්‍රස්’ ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. ගුවන් යානය ගොඩබැස්සවූ අවස්ථාවේදී ධාවන පථය මත යානය ලෙස්සා යෑමෙන් මෙම අනතුරව සිදුව තිබේ. අනතුරෙන් ගුවන් යානය දෙකඩ වී ඇතැයි ද වාර්තා වේ.

නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් විදේශවල සිර වී සිටින ඉන්දියානුවන් රැගෙන මෙම ගුවන් යානය පැමිණ තිබේ. යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 190කට වඩා සිට ඇතැයි වාර්තා වේ. ඒ අතර කුඩා බිලිඳන් 10කට ආසන්න පිරිසක් ද සිටින බව වාර්තා වේ.

ඊට අමතරව කාර්යමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද එහි සිට ඇතැයි ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘‘14 දෙනෙක් නිශ්චිතව මිය ගිහින්, තුවාල ලැබූ තවත් පුද්ගලයන් 15 දෙනකුගේ තත්ත්වය බරපතළ’’ ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ පොලිසි නිලධාරියෙක් පැවැසීය.

ඉන්දීය පුවත්සේවා


RECOMMEND POSTS