ඔස්ට්‍රියා ජනාධිපති සමාව ඉල්ලයි



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැලැක්වීමේ අරමුණින්, රාත්‍රියේ ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක, වියානා අගනුවර අවන්හලකට ගිය ඔස්ට්‍රියා ජනාධිපති ඇලැක්සැන්ඩර් වොන් දර් බෙලන් ට ජනතාවගෙන් සමාව ඉල්ලීමට සිදුවිය.

වයිරස ව්‍යාප්තිය වැලැක්වීමේ අරමුණින්, නිරෝධායන තහංචි ක්‍රියාත්මක වන අතර සෑම දිනකම රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනැවෙයි. ඒ, ජනතාව එක්රොක් වීම අවම කිරීමටය. ඇඳිරි නීතිය පැනැවෙන්නේ රාත්‍රී 11 ටය.

පසුගිය දා ජනපති වොන් දර් බෙලන්, බිරි‍ඳ සහ යහළුවන් කිහිප දෙනකු ද සමග නගරයේ ජනප්‍රිය ඉතාලි අවන්හලට ගොස් ඇත්තේ රාත්‍රී ආහාරය සඳහාය. ඇඳිරි නීති වේලාව පසුවන තුරු ජනපතිවරයා සහ බිරිඳ අවන්හලේ සිට ඇත. අවන්හලේ හිමිකරු ජනපති තවමත් ඇතුළේ සිටින බැවින් අවන්හල වසා දැමීම ප්‍රමාද කර තිබේ. ඒ මැදියම් රැය පසුවී මිනිත්තු කීපයක් ගතවෙද්දීය.

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක අවන්හල විවෘතව තැබීම සහ ජනපතිවරයා පිරිසක් සමඟ එහි සිටිනු දැක ඇත්තේ පොලිසියයි. මාධ්‍ය ඒ ගැන දැනගත් පසු ජනපතිවරයාට චෝදනා එල්ල වන්න පටන් ගත්තේය. නීතිය කාටත් පොදු බව සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා කසුකුසු ගාන්න විය.

සිදුවීම ගැන තමන් අවංකව කනගාටු වන බවත් ජනතාවගෙන් ඒ ගැන සමාව ඉල්ලා සිටින බවත් ජනපතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවේ ඉන්පසුවය. රාජකාරිය නිසි ලෙස කළ පොලිස් නිලධාරීන්ට ජනපතිවරයාගේ ප්‍රශංසාව ද හිමිවිය.

'මිතුරන් සමඟ සිටි බැවින් වෙලාව යනවා මට දැනුනේ නැහැ. මා අතින් සිදුවුණේ ලොකු වරදක්' යැයි ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

'රාත්‍රී 11 වෙද්දී බොහෝ දෙනා අවන්හලෙන් ගියා. අප ඒ නියමිත වෙලාවට අවන්හල වැසුවත්, ජනපති සහ පිරිස සිටින නිසා ඔවුන් යනකල් බලන් හිටියා. ඔවුන්ට යන්නැයි කියන්න විදියක් තිබුණේ නැහැ. ඒ අතරේ තමයි 12.20 ට විතර පොලිසියෙන් ආවේ.' යැයි අවන්හලේ හිමිකරු 'ක්‍රෝන්' පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත.

ඉතාලියෙන් පසු, ‍'කොවිඩ් 19' වයිරස වසංගතය හේතුවෙන් දැඩි නීති පනවා ඇති යුරෝපා රටක් වන්නේ ඔස්ට්‍රියාවය. කෙසේ නමුත් මේ වනවිට පැනැවූ එම තහංචි බොහෝ දුරට ලිහිල් වී ඇත. එසේ වුවත් දිනපතා රාත්‍රියේ ඇඳිරි නීතිය පැනවෙයි.

ඔස්ට්‍රියාවෙන් වාර්තා වන 'කොවිඩ් 19' හෙවත් කොරෝනා ආසාදිතයන් ගණන 16,430 කි. එයින් 15,063 දෙනකු මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සිටින බව පැවැසෙයි. මරණ සංඛ්‍යාව 640 කි.

වියානාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS