උතුරු කොරියාවේ ප්‍රාදේශීය මැතිවරණයක්



උතුරු කොරියාවේ ප්‍රාදේශීය මැතිවරණයක් පැවැත්වුණු අතර, න්‍යෂ්ටික අවිහරණයට කැප වී, සාම මාවතකට පිවිස සිටින උතුරු කොරියා නායක කිම් ජොන් උන් ද ඡන්දය දැමූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂයන් සියල්ල කිම් ජොන් උන්ගේ රජයට පක්ෂපාතී බැවින්, අපේක්ෂකයන් අතරේ, තරගයක් නොතිබුණි. ඡන්දය ප්‍රකාශ කළ ප්‍රමාණය සියයට සියයක් යැයි උතුරු කොරියා මැතිවරණ බලධාරීහු පවසති.

නායක කිම් ජොන් උන් උතුරු දෙසින් පිහිටි හැම්ග්යොංග් පළාතේ ඡන්ද පොළකට ගොස් ඡන්දය ප්‍රකාශ කළේය. මෙම පළාත නියෝජනය කරමින් මන්ත්‍රණ සභාවට අපේක්ෂකයන් දෙදෙනකු තරග වැදුණු බව පැවැසෙයි.

කොරියානු අර්ධ ද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට නායක කිම් ජොන් උන් එකඟවී ඇත. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා පවත්වමින්, න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු කරන බවට ද කිම් ජොන් උන් කටයුතු කරමින් සිටින බව පැවැසෙයි.

උතුරු කොරියාව උත්සාහ ගන්නේ, ඇමෙරිකාව ඔවුන්ට පනවා ඇති සම්බාධක ඉවත් කර ගනිමින් ලෝකයට විවෘත වීමටය. ඇමෙරිකාව උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. තමන් සෑහීමකට පත්වන අයුරින් උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණයක් කළොත්, එරටට පනවා ඇති සම්බාධක ඉවත් කරන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පොරොන්දුවක් ලබා දී ඇත.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS