ඉන්දියාවේ ආසාදිතයෝ 24,000 ක්



ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 24,000 පසු කළ බවත් ඉන්දියාවෙන් දිනකට වාර්තා වූ වැඩිම අසාදිතයන් ගණන මෙය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වන රටවල් අතර ඉන්දියාව ඇත්තේ සිවුවැනි ස්ථානයේය. ඉන්දියාවට ඉහළින් සිටින්නේ රුසියාව, බ්‍රසීලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 6,73,904 කි. මරණ වාර්තා වන්නේ 19,297 ක් ලෙසය.

කොවිඩ් 19 සඳහා එන්නතක් නිර්මාණය කිරීමට ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම වන භාරත් බයෝටෙක් මැදිහත් වී සිටී.
භාරත් බයෝටෙක් ආයතනය ද මේ වනවිට එන්නතක්  නිර්මාණය කර ඇති අතර, එය මීයන්, වදුරන් යොදා ගනිමින් සාර්ථකව අත් හදා බලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

එය තෝරා ගත් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසකට ලබා දීමට ඉන්දීය වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි වුණු බව ද පැවැසෙයි. කොවැක්සින් යනුවෙන් නම් කළ මෙම එන්නත ඒ අනුව අත්හදා බැලුණි.

එහි සාර්ථකත්වය දැන ගැනීමට තව මාස කිහිපයක් ගත වනු ඇතැයි හයිද්‍රාබාද් නුවර පිහිටි භාරත් බයෝටෙක් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS