ඉන්දියාවට පළගැටි ප්‍රහාරයක්



බටහිර සහ මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්තවලට පළගැටි ආක්‍රමණයක් එල්ල වී ඇති බවත්, පළගැටියන් නිසා මේ වනවිට හෙක්ටයාර් 50,000 ක වගාබිම් ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති බවත් පැවැසෙයි.

දශක තුනකට පසු ඉන්දියාව මුහුණ දුන් දරුණුතම පළගැටි උවදුර මෙය යැයි එරට කෘෂිකර්ම බලධාරීහු පවසති. මේ වනවිට පළගැටියන් ගැවසෙන ස්ථාන සොයා ගනිමින්, කෘමිනාශක ඉසීමට නියමුවන් රහිත ‍ඩ්‍රෝන යානා යොදා ගන්නා බව ද පැවැසෙයි.

පළගැටියන් එසේත් නැතිනම් පතංගයන්ගේ මෙම අක්‍රමණවලට ලක් වී ඇත්තේ රාජස්ථානය සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයයි. 'වර්ග කිලෝමීටරයක ප්‍රමාණයකට පැතිරුණු පළගැටි රංචු 8 ක් හෝ 10 ක් එකවරම වගාබිම්වලට කඩා වදිනවා. කෘමි නාශක දියර ඉසීමෙන් පමණක් උන් මර්දනය කරන්න බැහැ' යැයි පළගැටි උවදුරු මැඩලීමේ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.එල්. ගුර්ජාර් පවසා තිබේ.

ඉන්දියාව මීට පෙර මේ අයුරින් දරුණු ආකාරයේ පළගැටි උවදුරකට මුහුණ දී ඇත්තේ 1993 වසරේදීය. එක් පළගැටි රංචුවකට පළගැටියෝ මිලියන 40 ක් සිටින බවත් පැවැසෙයි.

මෙම පළගැටියන් ඉන්දියාවේ රාජස්ථානයට සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයට පියාඹා පැමිණ ඇත්තේ අසල්වැසි පාකිස්තානයේ සිටය. පසුගිය අප්‍රෙල් මාසයේ පාකිස්තානයේ වගාබිම් රැසක් පළගැටියන්ගේ හානියට ලක් වූ බව වාර්තා විය.

ජායිපූර්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS