ඇෆ්ගන් මංගල උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර මංගල උත්සවයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 68 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර එකසිය අසූ දෙදෙනෙක් තුවාල ලැබූහ.

ප්‍රහාරය එල්ල වූයේ ‘ෂාර් ඊ ඩුබායි’ (ඩුබායි සිටී) යන නමින් හැඳින්වෙන කාබුල් අගනුවර පිහිටි සුප්‍රකට උත්සව ශාලාවටය. ශාලාවේ පැවැත්වෙමින් තිබුණේ ෂියා මුස්ලිම් මංගල උත්සවයකි.

මරාගෙන මැරෙන බෝම්බකරු ශාලාවට සෙමින් ඇතුළු වී බෝම්බය පුපුරුවාගෙන ඇත්තේ ඊයේ (17) රාත්‍රියේ ඇෆ්ගනිස්තානයේ වේලාවෙන් 10.40 ටය.

ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු  අමාත්‍ය නුස්රාත් රහීමි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ සුන්නි මුස්ලිම් තලේබාන් ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කරන්න ඇති බවත්, එය සුන්නි ෂියා ආගමික ගැටුමක් බවත්ය. ඇෆ්ගනිස්තානයේ ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර නිරන්තරයෙන් ගැටුම් පවතී. ෂියා මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වෙයි.

තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කෙරුණු බව ද වාර්තා වේ. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.

මියගිය සහ තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ කුඩා දරුවන් රැසක් සිටින බව ඇෆ්ගන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඇතැම් මාධ්‍ය වාර්තා අනාවරණය කළේ මනාල යුවල ද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණු බවය. ප්‍රහාරය එල්ල වෙද්දී උත්සව ශාලාව අමුත්තන් 1,200 කින් පිරී තිබුණු බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS