ඇන්ඩ්‍රොයිඞ් වෙනුවට නව මෘදුකාංග පද්ධතියක්



චීනයේ හුවාවි විදුලි සංදේශ සමාගම සිය අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ඇමෙරිකා රජය පියවර ගැනීමත්, ඇමෙරිකාවේ ගූගල් සමාගම හුවාවි සමඟ ඇති කරගත් සියලු ගිවිසුම් අවලංගු කිරීමට තීරණය ගැනීමත් සම්බන්ධයෙන්, අදහස් දක්වමින් හුවාවි සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වන රෙන් සෙන්ෆේ කියා සිටියේ, ගූගල් ඇන්ඩ්‍රොයිඞ් වෙනුවට හුවායි සමාගම නව මෘදුකාංග පද්ධතියක් කඩිනමින් හඳුන්වා දෙන බවය.

රෙන් සෙන්ෆේ මේ බව කියා සිටියේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති ‘ලෝක ආර්ථික සමුළුවට’ සහභාගී වූ අවස්ථාවේදීය. ඩාවෝස් ආර්ථික සමුළුවට, ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමාගම්, ආර්ථික බලවතුන් ඇතුළු බොහෝ දෙනකු සහභාගී වී සිටියත්, විදෙස් මාධ්‍යවේදීන්ගේ වැඩි අවදානය යොමු වූයේ හුවාවි නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී රෙන් සෙන්ෆේ කෙරෙහිය.

‘ඇමෙරිකාවෙන් මේ විදියට කෙණෙහිලිකම් එල්ල වේවි යැයි අප කල්තියා දැන සිටියා. මේක එක පාරට සිදුවුණු දෙයක් නොවෙයි. ඔවුන් අපට එල්ල කරන චෝදනා අප තරයේ ප්‍රතික්ෂේප කරනවා. ගූගල් ඇන්ඩ්‍රොයිඞ් වෙනුවට අප හුවාවි උපාංග සඳහා අලුත් මෙහෙයුම් පද්ධතියක් අප නිර්මාණය කිරීම ආරම්භ කළේ 2012 වසරේ සිටය. එය ඉදිරියේදී හුවාවි උපාංග සඳහා භාවිතයට ගැනීම සිදුවේවි. ඇමෙරිකාව හුවාවි සමාගම අවතක්සේරු කළා. ඒක වැරැද්දක්’ යැයි මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් රෙන් සෙන්ෆේ පැහැදිලි කළේය.

ඇමෙරිකාව චීනයේ හුවාවි විදුලි සන්දේශ සමාගම ඔවුන්ගේ අසාදු ලේඛනයට ඇතුළත් කළේ, හුවාවි සමාගම චීනය වෙනුවෙන් ඇමෙරිකාව සම්බන්ධයෙන් ඔත්තු බැලූ බවට සැක කරමිනි.

හුවාවි ලොව ප්‍රධාන පෙළේ විදුලි සන්දේශ සහ තොරතුරු තාක්ෂණ ආයතනයකි. ඇමෙරිකාවේ ඇපල් සමාගමේ ‘ඇපල්’ ස්මාට් ෆෝන් ඇතුළු විද්‍යුත් උපාංග පරාජය කරමින්, ලොව දෙවැනියට වැඩිම අලෙවියක් ඇති ස්මාට් ෆෝන් සහ විද්‍යුත් උපාංග නිර්මාණ කරු වන්නේ ‘හුවාවි’ ය.

මෙම වසරේ පළමු කාර්තුවේදී ස්මාට් ෆෝන් සහ විද්‍යුත් උපාංග අලෙවිය අතින් පළමු තැන සිටින්නේ ‘සැම්සුන්’ සමාගමයි. සැම්සුන් දකුණු කොරියානු සමාගමකි. දෙවැනි ස්ථානය ‘හුවාවි’ සමාගමටත් තෙවැනි ස්ථානය ඇපල් සමාගමටත් හිමිවී ඇත.

ස්මාර්ට් ෆෝන්, ටැබ් ඇතුළු සියලු විද්‍යුත් උපාංග ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය (ඔපරේටින් සිස්ටම්) හරහා ක්‍රියාත්මක වෙයි. ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණය ලබා දෙන්නේ ඇමෙරිකාවේ ගූගල් සමාගමය. ඇමෙරිකා රජය හුවාවි සමාගමට පැනැවූ තහංචි හේතුවෙන් ගූගල් සමාගම සහ හුවාවි සමාගම අතර සියලු ගණුදෙනු මේ වනවිට අත්හිටුවා ඇත. ඒ අනුව, මේ වනවිට ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය හුවාවි සමාගමට අහිමි වී ඇත.

මින් ඉදිරියට අලුතින් නිෂ්පාදනය කෙරෙන හුවාවි සමාගමට ලබා දුන් ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණය හුවාවි සමාගමට අහිමි වන අතර දැනට භාවිතා කෙරෙන ගූගල් තාක්ෂණය කල් ඉකුත් වීමෙන් පසු හුවාවි පාරිභෝගිකයන් දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවට ද බිය පළ කෙරේ. ගූගල් ප්ලේ පමණක් නොව, ජීමේල් සහ ගූගල් ඇප් (මෘදුකාංග) සේවා සියල්ල ද හුවාවි දුරතකන, ටැබ් ඇතුළු සියලු සන්නිවේදන උපාංගවලට අහිමි වෙයි. මෙය හුවාවි සමාගමට ප්‍රබල පහරක් වනු ඇති බව පැවැසෙයි.

ඩාවෝස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS