ඇතින්නගේ මරණය: මුස්ලිම් ගැමියන්ට චෝදනා



දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මියගිය ගැබ්බර ඇතින්න මුල්කොට ගනිමින් හින්දු මුස්ලිම් ගැටුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, ඇතින්නගේ මරණයට මුස්ලිම් ගම්වැසියන් වගකිව යුතු යැයි පාලක භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා මේනකා ගාන්ධි කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මුල්කොට ගනිමිනි.

කේරළයේ පලක්කාද් දිස්ත්‍රික්කයේ මලප්පුරම් ප්‍රදේශයට නුදුරින් ‘සයිලට් වැලි’ නිම්න වනාන්තරයේ ජීවත් වුණු අවුරුදු 15 ක් පමණ වයසැති මෙම ඇතින්න, පසුගිය 27 වැනිදා, වනාන්තරය අසල ගම්මානයක අන්නාසි ගොවිපොලකින් අන්නාසි ගෙඩියක් ආහාරයට ගෙන ඇත. මෙම ඇතින්න කිසිවකුටවත් කරදරයක් නොකර මෙසේ අන්නාසි ආහාරයට පැමිණීමට පුරුදු වී සිටියේ යැයි පසුව වන ජීවී නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත.

අන්නාසි වගාවට පැමිණි ඇතින්න කඩාගත් අන්නාසි ගෙඩියේ හක්ක පටස් සඟවා තිබුණු අතර, එය සපද්දී, මුඛයට බරපතල තුවාල සිදුවිය. තුවාල වේදනාව මැද ඇය ගම්මානයට කඩා වැදී ඇති නමුත්, කිසිවකුට හෝ කිසිදු නිවසකට හෝ හානි කර නැති බව ද වන ජීවී නිලධාරීහු පැවැසූහ.

වේදනාව උසුලා ගැනීමට නොහැකි වූ බැවින්, වෙල්ලියාර් නදිය වෙත ගොස් තුවාල වූ මුඛය වැසෙන තෙක් ජලයට බැස සිටි ඇතින්න මියගියාය. ඒ, ජලයේ සිටගෙන සිටි ඉරියව්වෙනි. ඇතින්න ගැබ්ගෙන සිටි බවත්, තව මාස 18 කින් ඇය පැටවකු බිහි කිරීමට සූදානමින් සිටි බවත් වන ජීවී නිලධාරීන් දැනගත්තේ ඇගේ සිරුර මිහිදන් කිරීමට ට්‍රක් රියකින් රැගෙන යද්දීය.
දැඩි වේදනාවෙන්, ජලයේ සිටගෙන මියගිය මෙම ඇතින්නගේ දුක්මුසු පුවත මුළු ඉන්දියාවම කැලැඹීමට සමත් විය. ප්‍රකට මෙන්ම ජනප්‍රිය බොලිවුඞ් නළු නිළියන් පවා සමාජ මාධ්‍ය ඔස්සේ ඇතින්න වෙනුවෙන් දුක් වූයේ හක්කපටස් ඇටවූ ගැමියන්ට දොස් නගමිනි.

මේ අතර, අන්නාසි ගෙඩියේ හක්කපටස් සඟවා ඇතින්නට එය ආහාරයට ගැනීමට ඉඩ සැලැස්වීම කෲර අමානුෂික ක්‍රියාවක් බව පෙන්වා දෙමින් ඉන්දීය සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සිය විරෝධය පළ කරන්න පටන් ගත්තේය.
ඇතින්නගේ මරණය සම්බන්ධයෙන් කිසිවකුට සමාව නොදෙන බවත් නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් කේරළ මහ ඇමැති පිනරායි විජයන් අවධාරණය කළේ එම අවස්ථාවේදීය. ඒ අනුව, වන ජීවී නිලධාරීන්ගේත් පොලිසියේත් සහාය ඇතිව සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැණුනි.

භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවක මෙන්ම සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක ද වන මේනකා ගාන්ධි පැහැදිලි කර ඇත්තේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ අන්නාසි වගා කරන සියයට 70 ක් දෙනා මුස්ලිම් වැසියන් බවය. ඇතින්නට හක්කපටස් ඇටවූ ගැමියන් මුස්ලිම් යැයි ඇය චෝදනා කර තිබේ.

‘ඔවුන් ඇතින්න මරා දැම්මා. මෙය මේ පළාතෙන් වාර්තා වන පළමු සිදුවීම නොවෙයි. මීට පෙර මුස්ලිම් ගම්මානවල වැසියන් අලි ඇතුන්ට තුවාල සිදු කර තිබෙනවා. මෙවැනි සත්ව හිංසා නිසා මලප්පුරම් ප්‍රසිද්ධයි. මලප්පුරම් දිස්ත්‍රික්කයේ කුරුල්ලන් බල්ලන් 300 ත් 400 ත් අතර මරා දැමෙනවා වස දීමෙන්. මුස්ලිම් ගම්මානවල වැසියන් ඊට වගකියන්න ඕනෑ’ යැයි මේනකා ගාන්ධි මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ලෝක් සභාව නියෝජනය කරන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන 63 හැවිරිදි ඇය ගාන්ධි පවුලට සම්බන්ධය. මේනකා ගාන්ධිගේ සැමියා වූයේ සන්ජේ ගාන්ධි ය. සන්ජේ ගාන්ධි ඉන්දිරා ගාන්ධිගේ පුතකු වන අතර, සන්ජේ ගාන්ධි, රජිව් ගාන්ධිගේ සොහොයුරාය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS