අයිවරි කෝස්ට් අගමැති මරුට



හදිසියේ රෝගී වූ අයිවරි කෝස්ට් අගමැති අමදූ කෝලිබැලි අභාවප්‍රාප්ත විය. 61 හැවිරිදි අගමැතිවරයා හදිසියේ රෝගී වූයේ ඊයේ (8) සවස ඇමැති මණ්ඩලය හමුවී සාකච්ඡා කර පිටවී යෑමට සූදානම් වෙද්දීය.

සිහිසුන්ව ඇද වැටුණු අගමැතිවරයා රෝහලකට ඇතුළත් කළ බවත් එහිදී ඔහු මියගිය බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

අයිවරි කෝස්ට් යනු බටහිර අප්‍රිකා රාජ්‍යයකි. 2010 වසරේ සිට අයිවරි කෝස්ට් රාජ්‍යයේ ජනාධිපති ධුරය හෙබවූයේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ 78 හැවිරිදි ඇලසේන් ඔටාරා ය.

පසුගිය ඔක්තෝබරයේ පැවැති ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය ජයග්‍රහණය කළත් ඔටාරා කියා සිටියේ ධුර කාල දෙකක් සම්පූර්ණ කළ තමන් තෙවැනි ධුර කාලය අපේක්ෂා නොකරන බවය.

ඒ අනුව, රිපබ්ලිකන් පක්ෂය අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ අමදූ ගොන් කෝලිබැලි ජනපති ධුරයට නම් කර තිබුණි. කෝලිබැලි මියගියේ ජනපති ධුරය බාර ගැනීමට පෙරය.

කෝලිබැලි හදවත් රෝගියකු විය. 2012 දී ඔහුට හදවතක් ද බද්ධ කෙරුණි. පසුගිය මැයි 2 වැනිදා කෝලිබැලි ප්‍රංශයට ගියේය ඒ, හදවතේ අවහිරයක් හේතුවෙන් ‘ස්ටෙන්ට්’ දැමීමට සිදුවුණු බැවිනි. කෝලිබැලි යළි අයිවරි කෝස්ට් පැමිණියේ මාස දෙකකට පසුවය.

‘වසර 30 ක් තිස්සේ මාගේ දේශපාලන සගයා වූයේ කෝලිබැලි. ඔහු මට සොහොයුරෙක්. ඔහුගේ අභාවය අයිවරි රාජ්‍යයට විශාල පාඩුවක්’ යැයි ජනාධිපති ඇලසේන් ඔටාරා සොව පළ කරමින් පවසා තිබේ.

ඇලසේන් ඔටාරා තෙවැනි ධුර කාලය ප්‍රතික්ෂේප කිරීමත්, කෝලිබැලි හදිසියේ මියයෑමත් හේතුවෙන්, අයිවරි කෝස්ට් රාජ්‍යයේ දේශපාලන අස්ථාවරභාවයක් හටගෙන ඇතැයි එරට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

රොන්සෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS