අගමැති ටෘඩෝ කැනඩා පාර්ලිමේන්තුව විසුරුවයි



පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්, ලබන ඔක්තෝබරයේ මහ මැතිවරණයක් පවත්වන බව කැනඩා අගමැති 47 හැවිරිදි ජස්ටින් ටෘඩෝ පැවැසීය.

කැනඩා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත ලබන ඔක්තෝබර් 21 වැනිදාය. යළි අගමැති ධුරය අපේක්ෂා කරන ටෘඩෝ, සිය මැතිවරණ කටයුතු ආරම්භ කළේය. ටෘඩෝ නියෝජනය කරන්නේ ලිබරල් පක්ෂයයි.

තෙදරු පියකු මෙන්ම කඩවසම් අගමැතිවරයකු ද ලෙස ලොව කාගේත් අවදානයට ලක් වී සිටින ටෘඩෝ කැනඩා අගමැති ධුරයට පත් වූයේ 2015 පැවැති මැතිවරණයෙන් විශිෂ්ට බහුතර බලයක් ද සහිතව ජය හිමිකර ගනිමිනි.

2015 දී සේම ටෘඩෝගේ ජනප්‍රියත්වයේ අඩුවක් සිදු වී නැති බවත්, ඔහුට දෙවැනි ධුර කාලය සඳහා අගමැති ධුරය හිමිවනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කෙසේ නමුත් 2015 දී මෙන් නොව, මෙවර අති විශිෂ්ට බහුතරයක් හිමි කර ගැනීමට ටෘඩෝ ට හැකිවේවිදැයි සැකයක් පවතින බව ද දේශපාලන විශ්ලේෂකයෝ වැඩිදුරටත් කියා සිටිති.

ඔටෝවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS