සභාග රජයකට ගිය බ්‍රිතාන්‍ය ඡන්දය



 

“විපත්තිඃ කාල සංජාතා
දුර්වාරා යේන කේනචිත්
සායං පද්ම වනේ ජාතා
හානිඃ කේන නිවාරක තෝ”
සංස්කෘත ශ්ලෝකයක්
“නපුරු කලට සතහට පැමිණෙන     වෙහෙස 
එදුරු නොවෙයි, කළ පව් පල දෙවා     මිස 
තඹුරු වනය විකසිත වන බව     සවස 
කවුරු විසින් වැළකිය හැකි මෙදිය     කුස.”
සිංහල සුභාෂිතය
අලගියවන්න මුකවැටිතුමන්ගේ පොතක්

 

ශීඝ්‍ර වේගයෙන් සිදුවීගෙන ගිය ක්‍රියාදාමයක්, බි්‍රතාන්‍යයේ පාලන තන්ත්‍රය කෙරෙහි ඉතා දැඩි ලෙස බලපෑයේය. බි්‍රතාන්‍යයේ ක්ෂණික මහජන ඡන්ද විමසීම ජූනි මස අටවනදා පැවැත්තේය. මේ ඡන්ද විමසීම සිදුවුණේ  අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ නියමයෙනි. බි්‍රතාන්‍යය, යුරෝපා සංවිධානයෙන් වෙන්වීමේදී අනිවාර්යයෙන්ම එක්තරා සංකීර්ණ වැඩසටහනක් පරිපූර්ණ කොට ගත යුතු වන්නේය. ඒ සඳහා තමන්ට ස්ව පක්ෂයේ පෘථුල සහයෝගය ක්‍රමවත්ව ලබාගන්නට, පක්ෂය විසින් සිය ආසන සංඛ්‍යාව අධික කොට ගැනීම අනිවාර්ය යැයි තෙරේසා මේ අගමැතිනිය ප්‍රකාශ කළාය. එතුමිය ඒ දේශපාලන තීරණයට එළඹෙන සමයෙහි, බි්‍රතාන්‍යයේ බොහෝ දෙනා අගමැතිනි මේ මහත්මියගේ ඉල්ලීම සාවධානව සලකා බලන්නට සැරසී සිටි සේ පෙනුණේය. ජනමත විමසීමකට සහභාගි වූ අයගෙන් බහුතරයක් බි්‍රතාන්‍යය යුරෝපා සංවිධානයෙන් වෙන්වීම අනුමත කළ හෙයින්, ඒ ජාතික තීරණය ක්‍රියාත්මක කරන්නට තෙරේසා මේ මහත්මියට සහයෝගි වීම සාධාරණ යැයි සැලකූහ.


කොන්සර්වැටිව් පක්ෂයේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව, බි්‍රතාන්‍ය ජනතාව විසින් අධික කොට දෙනු ඇතැයි කොන්සර්වැටිව් පක්ෂ නායිකා තෙරේසා මේ මහත්මිය විශ්වාස කොට ගෙන සිටියාය.


එවැනි පසුබිමෙක ජූනි 8 වැනිදා බි්‍රතාන්‍ය ජාතිකයෝ ඡන්දය දුන්හ.


ජූනි නවවනදා ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසුව බි්‍රතාන්‍යය පුරා ආන්දෝලනයක්  උද්ගත වූයේය.


මෙයට හේතුව වූයේ මේ ක්‍ෂණික ඡන්ද විමසීමෙන් පසුව අගමැතිනි තෙරේසා මේ මහත්මිය බලාපොරොත්තු වූ අධික ආසන සංඛ්‍යාව, එතුමියගේ පක්ෂයට නොලැබී යාමයි.


ප්‍රකාශ වූ ඡන්ද ප්‍රතිඵල පක්ශ වශයෙන් මෙසේය.


1. කොන්සර්වැටිව් පක්ෂය - ආසන 317යි
2. කම්කරු පක්ෂය - ආසන 262යි
3. ස්කොටිෂ් නැෂනල් පක්ෂය (එස්.එන්.)- ආසන 35යි.
4. ලිබරල් ඩිමොක්‍රැටික් පක්ෂය - ආසන 08යි
5. ඩිමොක්‍රැටික් යුනියනිස්ට් පක්ෂය (ඩීයූපී) - ආසන 08යි.
6. සින්ෆෙයින් පක්ෂය - ආසන 04යි


ප්‍රතිඵල ප්‍රකාශ වූ හැටියේ කම්කරු (ලේබර්) පක්ෂ නායක ජෙරම් කෝබිස් කියා  සිටියේ, අගමැතිනි තෙරේසා මේ පදවියෙන් ඉල්ලා අස්විය යුතු බවයි. කම්කරු නායකයා ඉතාම සරු තර්කයක් නැඟුවේය. “අගමැතිනි තෙරේසා මේ මහත්මිය, පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ, සිය පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වැඩිකොට ගන්නා පිණිසයි. එහෙත් සිදුවී තිබෙන්නේ ඇයගේ පක්ෂයේ ආසන සංඛ්‍යාව තිබුණාට  වඩා අඩුවීමයි. මෙසේ ඇය විසින්  ලබා තිබෙන්නේ බලාපොරොත්තු වූ සංඛ්‍යාවට වඩා අඩු ආසන ගණනකි. ඒ නිසා එතුමිය මේ ඡන්ද විමසීමෙන් පරාජිතයි. ඇය මේ පසුබිමේදී පදවියෙන් ඉල්ලා අස්විය යුතුයි.”


එහෙත් තෙරේසා මේ අගමැතිනියගේ මතය වුයේ තමා සිය ප්‍රධාන විරුද්ධ පක්ෂයට වඩා අධික ආසන සංඛ්‍යාවක් ලබා සිටින හෙයින් තමාට පදවියෙන් ඉල්ලා අස්වනු පිණිස කෙරෙන පෙළඹවීම යුක්තිසහගත ක්‍රියාවක් නොවන බවයි. ඒ නිසා තමා මේ පීඩිත තත්ත්වයේ සිටියදීම බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අගමැති පදවිය දරන බවත් එතුමිය කියා සිටියාය.


ඒ අනුව එතුමිය ජූනි නවවනදා අපර භාගයේ එලිසබෙත් මහරැජින බැහැ දැක, ආණ්ඩුවක් පිහිටුවන්නට වරම් ලබාගත්තාය.
මේ නව පාර්ලිමේන්තුව 2017 ජූනි දහතුන් වනදා ප්‍රථම වරට එක් රැස් විය.


ඉනික්බිතිව, මහ රැජින විසින් චිරාගත සම්ප්‍රදායට අනුව, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය, උත්සවශ්‍රීයෙන් විවෘත කෙරෙන්නේ 2017 ජූනි දහනව වන සඳුදායි. ස්ව පක්ෂයට තනිව පාලනයෙහි යෙදෙන්නට ශක්තිය සපයන ආසන සංඛ්‍යාවක් ලබා ගත  හැකි නොවීම නිසා අගමැතිනි තෙරේසා මේ මහත්මියට තවත් පක්ෂයක් හා සහයෝගීව රජය කරගෙන යන්නට වෙයි. 


එසේ තනි පාලනයක් නොමැතිව සභාග රජයක් පිහිටුවන්නට සිදු වන අවස්ථාව නම් කෙරෙන්නේ “හං පාර්ලිමන්ට්” (එල්බගෙන සිටින පාර්ලිමේන්තුව) වශයෙනි. මක්නිසාදයත් සීමිත ආසන සහිතව, රජයක් කරගෙන යන්නට නම් තවත් කොතැනක හෝ “එල්බ” ගත යුතු වන හෙයිනි.


කොන්සර්වැටිව් පක්ෂ  නායිකා අගමැතිනි තෙරේසා මේ මහත්මිය සභාග රජයක් පිහිටුවන්නට බලාපොරොත්තු වන්නේ ඩී.යු.පී. (ඩිමොක්‍රැටික් යුනියනිස්ට් පක්ෂය) හා සමගයි. උතුරු අයර්ලන්තයේ ඩී.යූ.පී. පක්ෂයේ නියෝජිතයෙක් නොබෝදා පැවසුවේ, අගමැතිනිය හා සමග සිදුවන සාකච්ඡා අර්ථයක් සහිත ලෙස ඉදිරියට යන බවයි. ඒ නිසා කොන්සර්වැටිව්  - ඩීයූපී සභාග පාලනයක් සහිත යුගයකට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මං පෑදී ඇත්තේය.


මෙහිදී නිතැතින්ම මතුවන ප්‍රශ්නයක් ඇත්තේය. තෙරේසා මේ අගමැතිනිය, පාර්ලිමේන්තුව විසුරුවා හැර ක්‍ෂණික ඡන්ද විමසීමකට මුහුණපාන්නට තීරණය කළේ, ඒ අවස්ථාවේදී තමාගේත්, එතුමියගේ පක්ෂයේත් ජනප්‍රියත්වය උච්ච මට්ටමින් පැවති නිසාය. ඒ ජනකාන්ත බව අරා, ඡන්ද විමසීමක් පවත්වා අධික ආසන සංඛ්‍යාවක් සහිතව නව පාර්ලිමේන්තු සැසියක් ආරම්භ කිරීම එතරම් බැරෑරුම් අභියෝගයක් සේ ඒ දිනවල පෙනී ගියේ නොවේ.


එසේම, ප්‍රධාන විපක්ෂයේ ලේබර් (කම්කරු) පක්ෂයේ නායකත්වය දරන ජෙරම් කොබින්ගේ පිළිබිඹුව එදා එතරම් ප්‍රශස්ත ලෙස ජන සන්තානගතව තිබුණේත් නොවේ. ඒ නිසා ඒ විපක්ෂය හා සමග තරග කිරීම ද, කොන්සර්වැටිව් පක්ෂයට දැඩි ප්‍රශ්නයක් වෙතැයි ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ අය නොසිතූහ.


ජූනි අටවනදා ඡන්දයේදී කොන්සර්වැටිව් පාක්ෂිකයන්ට බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලද නොහැකි වූයේ නපුරු ත්‍රස්තවාදයේ කුරිරු පහරවල්, පාලක පක්ෂයේ ස්ථාවර භාවයට බැරෑරුම් තර්ජනයක් වීමය. මැදහත් විචාරයකදී පැහැදිලි  වන්නේ, ත්‍රස්තවාදීන් නිසා එළැඹුණු විපත්ති කාලය හේතු කොට ගෙන යොවුන් ඡන්ද හා ඒවා ආශ්‍රිත වැඩිහිටි ඡන්දත්, කොන්සර්වැටිව් පක්ෂයට අහිමි විම අගමැතිනියගේ ඡන්ද ව්‍යාපාරයට බොහෝ සේ බලපෑ බවයි.


මැයි 22 වැනිදා මැන්චෙස්ටර්හි සිඟිති ලොවට එල්ල වූ ප්‍රහාරය පෘථුල ජන කම්පනයකට තුඩුදුන්නේය. ඒ සාහසික ත්‍රස්ත ක්‍රියාවෙන් හටගත් මහා සංවේගයෙහි තරම පෙනී ගියේ ඒ ඛේදවාචකය සමරන්නට එකතු වූ පනස් දහසකටත් අධික දැවැන්ත ජනකාය නිසාය. ජුනි අටවනදා යෞවන-වැඩිහිටි ඡන්ද භාවිතය කෙරේ “වන්ලව් මැන්චෙස්ටර්” මහා  සංගීත ප්‍රසංගය ද බලපෑ බව නිසැකය.


ඡන්ද විමසීමට දින පහකට පෙර ලන්ඩන් බි්‍රජ් පෙදෙසේ සහ ඒ ආශ්‍රිත බෙරෝ මාකට් අලෙවි මධ්‍යස්ථානයෙහිත් සිදුවූ ත්‍රස්තවාදී ආක්‍රමණය ද බි්‍රතාන්‍යයේ යෞවන කණ්ඩායම් සසල කළ සිද්ධියකි.


මේ බොරෝ මාකට් සංකීර්ණය දෙස් විදෙස් යොවුන් කණ්ඩායම් ආකර්ශනය කරන තරුණ විනෝද ජනපදයකි.


මේ ස්ථානය පිළිබඳව විචිත්‍ර සටහනක් සපයන ලන්ඩන්හි ඩෑක් ස්ටිවර්ට් නම් ලේඛකයා, ඒ පියෙස “සූප ප්‍රේමීන්ගේ කේන්ද්‍රස්ථානයක් බවත්, විවිධ භාෂා හා සුවඳ එහි වායුවේ රඟන බවත්” ඉතා ළගන්නා ශෛලියකින් වර්ණනා කරන්නේය.


මැයි 22 වනදා සහ ජූනි තුන්වනදා සිදුවූ ඒ කුරිරු ත්‍රස්තවාදී රකුසු ක්‍රියා අනිවාර්යයෙන්ම ජූනි අට ඡන්දය කෙරේත් තියුණු ලෙස බලපාන්නට ඇත. වෙසෙසින්ම යෞවන  චින්තනයට මෙය දැනෙන්නට වූයේය. 


තෙරේසා මේ අගමැතිනිය මේ ත්‍රස්තවාදී දරුණුකම් පිළිබඳව සංවේදීය. ජුනි මස හතරවැනිදා එතුමිය ප්‍රකාශ කළේ “මේ ක්‍රියා නව ත්‍රස්තවාදී ප්‍රවණතාව”කැයි කියායි.


මේ සියල්ල මැද්දේ පාර්ලිමේන්තු පාලනය පිළිබඳ සුක්කානම යළි භාරගත් අගමැතිනි තෙරේසා, සිය ප්‍රතිපත්ති මාලාව කෙසේ සකස් කොට ගනී ද?


ප්‍රථමයෙන්ම, සිය පක්ෂ ශක්තිය තහවුරු කොට ගත යුතුවේ. ඒ සඳහා එතුමිය ජූනි මස දහවන සෙනසුරාදා, ඩීයූපී පක්ෂය හා සමග දළ සම්මුති සටහනක් සකස් කොට ගත්තාය.


ඊඟාවට ඉස්මතුව නැගී සිටින අභියෝගය නම්,  විවිධ පැතිවලින් එල්ල වන චෝදනා, පහරදිම්, දෝෂ දර්ශන හා තර්ජනයි. ස්ව පක්ෂයේ අන්තගාමී විචාරකයෝ ද, තෙරේසා මේ අගමැතිනියගේ දර්ශනය අනුමත කරන්නට නොසැරසෙති.


අගමැතිනිය තෙරේසා මේ නායිකාව හා සමග සහයෝගි වන “ඩිමොක්‍රැටික් යුනියනිස්ට්” පක්ෂයේ නායකත්වය දරන්නේත් කාන්තාවකි. ආර්ලින් ෆොස්ටර් නමැති ඒ නායිකාව උපත ලැබුවේ 1970 වේ ජූලි මස තුන්වන දායි. 


තෙරේසා මේ අගමැතිනියගේ නව පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතා අංක එක වන්නේ යුරෝපා සංවිධානයෙන් බැහැරවීමේ ක්‍රියාදාමය, ක්‍රමවත්ව සම්පූර්ණ කිරිමයි.


“බ්‍රෙක් සිටි” ප්‍රතිපත්ති නිසි සේ සකස් කොට ගන්නා පිණිස තෙරේසා මේ අගමැතිනිය විසින් දරන ලද ඉමහත් වෙහෙස කාගේත් ප්‍රශංසාවට හිමිවෙයි.


නීති ප්‍රශ්න විසඳා ගනිමින්, පාර්ලිමේන්තු සම්මුතිය සපයා ගනිමින්, ජාත්‍යන්තර සාකච්ඡා ප්‍රවාහයකට සහභාගි වෙමින් බි්‍රතාන්‍යයය, යුරෝපා සංවිධානයෙන් වෙන්වීමේ කාර්ය රටාව ඉටු කොට ගන්නට තෙරේසා මේ අගමැතිනිය දැඩි ප්‍රයත්නයක යෙදුණේය. “බ්‍රෙක් සිටි” (යුරෝපයෙන් වෙනස්වීමේ) ක්‍රියාවලිය, බි්‍රතාන්‍යයේ ප්‍රබල ජාතික ප්‍රශ්නයක් බවට එළඹ තිබෙන හෙයිනි.


මෙහිලා තමාට සහාය සපයනු පිණිස, එතුමිය ජූනි මස එකොළොස්වන ඉරිදා නව කැබිනට් මණ්ඩලය පත් කළාය. අගමැතිනිය විසින් සිය නියෝජ්‍ය පදවියට පත්කොට සිටින්නේ ඬේමියන් ග්‍රීන්ය. ඒ මහතාගේ නිල නාමය: ප්‍රධාන රාජ්‍ය ලේකම්.


සෙසු මුඛ්‍ය කැබිනට් පත්කිරීම් කිහිපයක්ම පෙර පරිදිමය. බොරිස් ජොන්සන් විදේශමාත්‍යය පදවිය දරයි. මුදල් ඇමැති ෆිලිප් හැමන්ඞ්ය. බ්‍රෙක්සිට් අමාත්‍ය පදවිය දරන්නේ, ඬේවිඞ් ඬේවිස් විශේෂඥයායි. 


මෙය “එල්බගත්” පාර්ලිමේන්තුවක් හෙයින්,  ඉතා ඉක්මනින් තවත් මැතිවරණයකට යන්නට වේ යැයි විපක්ෂවාදීහු පවසති. ඉතා තියුණු ලෙස මේ මතය පළ කරන්නේ ජෙරම් කෝබින් විපක්ෂ නායක කම්කරු පක්ෂාධිපති විසිනි.


මෙහිදී අගමැතිනිය තෙරේසා මේ මහත්මිය පැහැදිලි මතයක් දරන්නීය. අවශ්‍ය වූ විටෙක ඡන්ද විමසීමකට යා හැකි යැයි ඒ මහත්මිය නොපැකිළිව පවසන්නීය.


යුරෝපා සංවිධානයේ ප්‍රමුඛයන් වන ජර්මනියේ ඇන්ජෙලා මර්කල් මහත්මියත්, නව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් මහතාත්, තෙරේසා මේ මහත්මියට සිය පූර්ණ සහාය පළ කොට  සිටිති.


එහෙත් නව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු වාරය විසින් කිසිසේත් අමතක නොකළ යුතු විශේෂ සිද්ධියක් වෙයි.


සෙසු බොහෝ රටවලට මෙන්ම බි්‍රතාන්‍යයටත්, බැරෑරුම් විපත්තිකාරක, කුරිරු ත්‍රස්තවාදය, මත්තේදිත් තර්ජනයක් වන්නට ඉඩ ඇත්තේය.


මේ දේශවල, පරිපාලනය කෙරේ යොමුවන යෞවනයන්ගේ මනස මේ අමානුෂික ත්‍රස්ත විපත්තියෙන් දූෂණය වන්නට ඉඩ නොදී ආරක්ෂාකොට ගැනීම ද නව පාලනයේ අනිවාර්ය මුඛ්‍යතාවයක් විය යුතුය.


තෙරේසා මේ අගමැතිනියගේ නව රජය මේ සඳහා අධි සංවේදී බව ඉතාම පැහැදිලිය.


 

ප්‍රංශයේ ඡන්ද ප්‍රාතිහාර්යය

බි්‍රතාන්‍ය දේශය, මහජන ඡන්ද පතා දැඩි සටනක යෙදී, එයිනුත් එතරම් ප්‍රශස්ත ජයග්‍රහණයක් නොලද මොහොතක බි්‍රතාන්‍යයේ අසල්වැසි ප්‍රංශයේ දැවැන්ත ඡන්ද “ප්‍රාතිහාර්යයක්” සිදුවූයේය.


ගිය ඉරිදා (ජුනි එකොළොස්වනදා) ප්‍රංශයේ ජාතික මන්ත්‍රණ සභාවේ ආසන උදෙසා ප්‍රාථමික ඡන්ද විමසීම් වටය පැවතුණේය.
මෙහිදී නව ජනාධිපති එම්මානුවෙල් මැක්රන් මහතාගේ පක්ෂය විසින් ලබන ලද ඡන්ද ප්‍රමාණය, අවුරුදු හැටක් තුළදී ඒ රාජයයේ ඡන්ද විමසීමකින් දිනාගන්නා ලද විශාලම ඡන්ද සංඛ්‍යාවය.


ප්‍රංශයේ ජාතික මන්ත්‍රණ සභාවේ (නැෂනල් ඇසෙම්බ්ලි) ඡන්ද විමසීම පටන් ගන්නා කාලයේ නව ජනාධිපතිවරයා ක්‍රමවත් දේශපාලන පක්ෂයක්වත් නොමැති “කෝඩුකාරයකු”සේ පෙනුණේය. 


එහෙත් ගිය ඉරිදා ඡන්ද විමසීමේදී අවුරුද්දක්වත් වයස නැති ඔහුගේ “රිපබ්ලික් ආං මාෂ” (ජනරජය ගමන් ගනී) පක්ෂය ප්‍රංශ ඉතිහාසය හෙල්ලුම් කවන ප්‍රතිඵලයක් ලද්දේය.


ඒ ජාතික මන්ත්‍රණ සභාවේ සම්පූර්ණ ආසන සංඛ්‍යාව 577කි. ඉන් 390න් 445ත් අතර ප්‍රමාණයක් ලබන ඉරිදා අවසාන ඡන්ද විමසීමේදී ලැබෙන බව පසුගිය ඉරිදා පැවැත්වුණු පූර්ව වටයේ ප්‍රතිඵලවලින් “හඬනගා” ප්‍රකාශ වූයේය. මෙයින්  ජනාධිපති මැක්රන්ගේ පක්ෂයට අවුරුදු හැටකින් පසුව ඒ මන්ත්‍රණ සභාවෙන් ලැබෙන බහුතර ආසන සංඛ්‍යාව හිමිවේ. 


ජනාධිපති මැක්රන්ගේ පක්ෂය විසින් මේ සා විශාල ඡන්ද ප්‍රමාණයක් ලබද්දී සෙසු පක්ෂ කම්පාවෙති. මේ විදියට ගියොත් ප්‍රංශයේ ජාතික මන්ත්‍රණ සභාවේ විරුද්ධ පක්ෂයක්වත් ඉතිරි නොවේ යැයි එක් දේශපාලන නායකයෙක් පැවැසුවේය.


මේ කිසිසේත් නොවූ ආකාරයේ ප්‍රාතිහාර්මය ජයග්‍රහණයෙන් තිස්නව හැවිරිදි නව ජනාධිපති එම්මානුවෙල් මැක්රන් මහතාගේ ඔහුගේ හැටහතර හැවිරිදි ආර්යාව වන බි්‍රජට් මැකරන් මහත්මියත් අතිශයින්ම ප්‍රමෝදයට පත්වෙමින්, සුබ අනාගතයක් දකිති.


 

විකෘති චින්තනයක ස්වභාවය 

සම්මතයට පටහැනි ලෙස විකෘති ආකාරයෙන් සිතන අය ලෝකයේ බොහෝ සේ සිටිති.


ඔවුන් අතුරිනුත් අත්‍යසතයෙන්ම විකෘති චින්තනයක් සහිත පුද්ගලයකු පිළිබඳ කතාවක් නොබෝදා ජගත් ප්‍රවෘත්තිවලින් හෙළිවූයේය.
මේ තැනැත්තා ඇමෙරිකා එක්සත් ජනපද රාජයයේ යුටා ජනපදයෙහි වෙසෙන්නෙකි.


ඔහු යුටා ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් කළේය. එයින් ඒ තැනැත්තා ඉල්ලා සිටියේ තමාට රජය විසින් තමාගේම ලැප්ටොප් පරිගණකය විවාහ කරගන්නට අවසර දෙන්නැයි කියාය. 


(ඔව් ලැප්ටොප් පරිගණකය විවාහ කොට ගන්නට)
එහෙත් රජය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. රජයේ නීතිපතිවරයා ඒ අයැදුම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් විවාහ කොට ගන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතියක් නොලැබෙන බවයි.


 

 

ලෝකයේ පැරැණිම මහා කාව්‍යය ගිල්ගමේෂ්


අද පටන් හැම “සකෝ බල ලෝ” ලිපියක් හා සමග ලෝකයේ ඉපැරැණි මහා ග්‍රන්ථ පිළිබඳව විශේෂ සටහනක් සැපයෙයි.
මෙවර සටහන ලෝකයේ ඉතාම පැරැණි මහා කාව්‍යය වන ගිල් ගමේෂ් නම් මහා පද්‍යමය නිර්මාණය ගැනයි. මෙය ලියැවුණේ ඉපැරැණි බැබිලෝනියානු රාජ්‍යයේයි. ඒ මහා කාව්‍යයේ වීරයා “ගිල්ගමේෂ්”ය. මොහු සුමේරියානු නිරිඳෙකි. ගල්ගමේෂ් රජු වාසය කළේ ක්‍රිස්තුවර්ෂයට පෙර 2750 දීය. (මෙයට අවුරුදු 4800කට පමණ පෙරය).


හෙතෙමේ, අමරණීයත්වය දෙන රහස සොයා වීර චාරිකාවක යෙදුණේය.


ඔහුට දෙවියන් විසින් අමරණීයත්වය දෙන පුෂ්පය පරිත්‍යාග කරන ලදී. එය දෙන ලද්දේ කොන්දේසි සහිතවයි. 


ඔහු මේ පුෂ්පය රැගෙන පෙරළා මාලිගාවට යා යුතුයි. අතරමගදී ඔහු කිසිම හේතුවක් නිසා හෝ මේ පුෂ්පය අතහැරිය යුතු නොවේ.
පුෂ්පයත් රැගෙන එන ගමනේදී ගිල්ගමේෂ්ට තද නිදිමතක් දැනුණේය. ඔහු පුෂ්පය අත නොහැර, පොකුණකින් නාගෙන පොකුණු තෙර ඉන්නා  විට ඔහුට ඉබේම නින්ද ගියේය.


ඒ අතර එහි පැමිණි නාගයෙක් ඒ අමරණීයත්වය දෙන පුෂ්පය ඔහු අතින් ගෙන යන්නට ගියේය.


මේ නිසා මානව වංශයට, අමරණීයත්වයේ රහස නැති විය.


මේ පොතේ විවිධ සංස්කරණ ඉංග්‍රිසි බසින් පළ වී ඇත්තේය.


RECOMMEND POSTS