ලොව ඉහළම තෑගි සම්ප්‍රදාය නොබෙල් ත්‍යාගය



 

“තෑගි දීම හා තෑගි ලැබීම කෙරෙහි බලපාන මිනිස් නීතියක් ඇත්තේය. තමා ත්‍යාගයක් දුන් බව තෑගි දෙන තැනැත්තා විසින් වහාම අමතක කළ යුතු වේ. එහෙත් තමාට ත්‍යාගයක් ලැබුණු බව තෑගි ලබන තැනැත්තා විසින් හැම විටම මතක තබාගත යුතුවේ.”


සෙනෙකා (ක්‍රිස්තු පූර්ව 05 ක්‍රි.වර්ෂ 65) රෝම දර්ශනවාදියා

සමස්ත මානව වංශයටම කුතුහලයක් දැනෙන තෑගි පිරිනැමීමක් වන නොබෙල් ත්‍යාග සම්ප්‍රදායට දැනට අවුරුදු 218කි. මේ ත්‍යාග මාලාව නම් ඒ තෑගි දෙන අයටත් ඒ තිළිණ ලබන අයටත්, කිසිකලෙක අමතක කළ නොහැකිය. මක්නිසාදයත්, ඒ ත්‍යාග වාර්ෂිකව ප්‍රදානය කෙරෙන්නේ ප්‍රබල සංවිධානයක් විසින් දරනු ලබන දැවැන්ත ප්‍රයත්නයක් මගින් හෙයිනි.
එසේම විවිධ අංශවලින් නොබෙල් ත්‍යාග ලබන විශිෂ්ටයනුත් ජීවන කාලයක් මුළුල්ලේ පෘථුල මානව මෙහෙයක් ඉටුකළ ශ්‍රේෂ්ඨයන් හෙයිනි. ඔවුන්ටද මේ නොබෙල් සම්මානය සදා අමතක නොවන්නේය.


විශාල මට්ටමෙන් පැවැත්වෙන ජගත් සම්මාන ප්‍රදානවලින් බොහොමයක් සංවිධානය කෙරෙන්නේ මහා කණ්ඩායමක චින්තනයෙනි.
එහෙත්  නොබෙල් ත්‍යාග සංවිධානයේ විස්මය දනවන පක්ෂය නම් මෙය තනි පුද්ගලයකුගේ සංකල්පයෙන් ආරම්භ වී තිබීමයි.


නොබෙල් ත්‍යාග මාලාවේ ආරම්භය පිළිබඳ කතාව හද සසල කරන සුළුය.


නොබෙල් ත්‍යාග සම්ප්‍රදාය ඇරඹුණේ ඇල්ෆ්‍රඞ් බර්නාඞ් නොබෙල් නම් තැනැත්තාගෙනි. ඔහු 1833 ඔක්තෝබර් 21 වනදා ස්වීඩනයේ ස්ටොක්හොල්ම් නගරයේ උපත ලැබුවේය. ඔහුගේ පවුලේ බොහෝ දෙනා ඉංජිනේරුවරු වූහ. ඇල්ෆ්‍රඞ් විවිධ අංශවල දක්ෂයෙක් වූයේය. ඔහු රසායනඥයකු බවට පත්විය. පවුලේ පුරුද්දට අනුව යෙමින් ඉංජිනේරු ශිල්පයෙහිද හසළකම් දැක්වූයේය. ඔහුගේ විශේෂ ප්‍රවීණත්වය වුයේ නව නිර්මාණවල යෙදීමයි.


අලුතින් යම් දේ සොයා ගැනීමයි. 1894 වානේ සහ යකඩ කම්හලක් මිලයට ගැනීමෙන් පසුව නොබෙල්ගේ දිවි මග සහමුලින්ම වෙනස් අතකට නැඹුරු වූයේය. නොබෙල් ඒ කර්මාන්ත ශාලාව අවි ආයුධ වර්ග හා පුපුරණ දේ තනන කර්මාන්ත ශාලාවක් බවට පරිවර්තනය කළේය. එය මාරාන්තික උපකරණ තනන තැනක් වූයේය.
ඔහු ඒ නිෂ්පාදන මඟින් මහා ධනස්කන්ධයක් එක් රැස්කොට ගත්තේය.


එහෙත් අහම්බෙන් සිදුවූ සිද්ධියක් නිසා ඔහු ජීවිතය අලුතින්ම පටන් ගන්නට පෙළඹුණේය.


සිද්ධිය නම් ප්‍රංශ පුවත්පතක පළවූ ලිපියකි. එහි මාතෘකාව වූයේ “මාරක දේ විකුණන වෙළෙන්දා අභාවයට පත්වේ” යන්නයි. එහි තිබුණේ නොබෙල් මළ බවයි. එහෙත් එය වැරදීමකි. නොබෙල් ඒ ලිපියෙන් කම්පනයට පත්විය. මැරී තිබුණේ ඔහුගේ බාල සොහොයුරායි.


ඒ වනවිට නොබෙල් විසින් කරන ලද නිෂ්පාදන සංඛ්‍යාව 355කි. ඒ නිපැයුම් අතුරින් ඉතාම ප්‍රසිද්ධ දේ වුයේ “ඩයිනමයිට්” නම් පුපුරණ ද්‍රව්‍යයයි.
පණපිටින් සිටියදී සිය “මරණය” පිළිබඳ පුවත කියවා ගත් නොබෙල් තමා පිළිබඳව ලෝකයා හිතන හැටි ගැන බලවත් ලෙස තැබුයේය.
මේ කම්පනය සිදුවූයේ ඔහු මැරෙන්නට හරියටම අට අවුරුද්දකට පෙරදීය. 1888 දීය.


ඔහුට ඕනෑ කළේ මනාව කරුණාවෙන් පිරී ජන හිතකාමී ලෝකයටත් ලෝකයාටත් ආදරය කරන මහා පුරුෂයකුසේ මැරෙන්නටයි.
නොබෙල් නොපමාව අලුතින් අන්තිම කැමති පත්‍රයක් සකස් කළේය.


බොහෝ දෙනා තුළ මහා විස්මයක් දනවමින් ඔහු සිය අන්තිම කැමති පත්‍රයෙන් මෙසේ ප්‍රකාශ කළේය. “මානව සංහිතයට විශිෂ්ටතම සෙතක් සලසන අයට ත්‍යාග පද්ධතියක් පිරි නමනු පිණිස මම මගේ ධනස්කන්ධය වැය කරමි.”


භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කායික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය යන ක්ෂේත්‍රවලින් උදාරතම මානව මෙහෙය ඉටුකරන විශිෂ්ටයන්ට ත්‍යාග පිරිනැමීම සඳහා මම මගේ මුළු වත්කමින් සීයට 94ක් නොබෙල් ත්‍යාග සඳහා පිරිනමන්නෙමැ”යි නොබෙල් සිය අන්තිම කැමති පත්‍රයෙන් කියා සිටියේය.
මේ අනුව නොබෙල්ගේ කැමැත්ත ක්‍රියාවේ යොදනු පිණිස 1897 අප්‍රේල් මස 26 වනදා “නොබෙල් පදනම” පිහිටුවනු ලැබුවේය.
සාම ත්‍යාගය දෙනු පිණිස නෝර්වේ දේශයේ කොමිටියක් පත්කළ යුතු යැයිද නොබෙල් නියම කොට තිබිණි.


මේ අනුව හැම වර්ෂයකම නොබෙල් සාම ත්‍යාගය තීරණය කෙරෙන්නේ නෝර්වේ රාජ්‍යයේ කොමිටිය විසිනි.


සෙසු ත්‍යාග සියල්ලම තීරණය කෙරෙන්නේ ස්වීඩනය විසිනි.


නොබෙල් පදනම බොහෝ දුරට අයබදු ආදියෙන් නිදහස්ය.


නොබෙල් ත්‍යාග සම්ප්‍රදාය පිහිටුවාලීමෙන් පසුව ප්‍රථම භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලද්දේ එක්ස් රේ (එක්ස් කිරණ) සොයාගත් විලම් රොන්ට්ජන් විද්‍යාඥයා විසිනි.


සාහිත්‍යය සඳහා ප්‍රථම නොබෙල් ත්‍යාගය හිමිවූයේ සඳී පෘඩොම්ටයි.


ප්‍රථම රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවූයේ ජැකොබස්වැන් ටොෆ්ටයි.


ප්‍රථම කායික විද්‍යා හෝ වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවූයේ එමිල් වොන් බේරිංටයි.


ප්‍රථම නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණේ ජාත්‍යන්තර රතුකුරුස ව්‍යාපාරයට පුරෝගාමී වූ ස්විස් ජාතික ආංරි ඩුරාංවයි.


මේ නොබෙල් ත්‍යාග ලේඛනයට 1969 නව විෂය ධාරාවක් එක්විය. එය නම් කෙරුණේ “ආර්ථික විද්‍යා” වශයෙනි. මේ නව විෂය පද්ධතිය එක්කරන ලද්දේ නොබෙල් ත්‍යාග පද්ධතියේ නිර්මාතෘ ඇල්ෆ්‍රඞ් නොබෙල් නාමය අනුස්මරණය කරනු පිණිසයි.


එතැන් පටන් පිරිනැමෙන නොබෙල් ත්‍යාග ආශ්‍රිතව විචිත්‍ර චාරිත්‍ර වාරිත්‍ර රටා සංකීර්ණයක් තැනී ඇත්තේය.


නොබෙල් ත්‍යාග සමූහයට අලුතින් එකතු වුණු “ආර්ථික විද්‍යා” නොබෙල් ත්‍යාගය ප්‍රථම වරට හිමිවූයේ යාන්ටින්වර්ජන් සහ රග්නාෆ්‍රිෂ් යන දෙදෙනාටයි.
නොබෙල් ත්‍යාග පදනමේ පාලන මණ්ඩලය තීරණය කළේ ඊට පසු මේ නොබෙල් ත්‍යාග පද්ධතියට තවත් කිසිම ත්‍යාගයක් අලුතෙන් එකතු කළ යුතු නොවන බවයි.
නොබෙල් ත්‍යාග සඳහා කෙරෙන නාම යෝජනා ත්‍යාග පිරිනැමෙන වර්ෂයේ ජනවාරි 31 වනදාට පෙර එවිය යුතුවේ. ත්‍යාග කොමිටිය විසින් ඒ යෝජිත නාමවලින් 300ක් පමණ තෝරාගනු ලැබේ. මේ තෝරාගත් නම් කිසිවකුට හෙලිකරනු නොලැබේ. නොබෙල් ත්‍යාග නාමයෝජනා වාර්තා ත්‍යාග ප්‍රදානයෙන් පණස් වසක් ගතවන තෙක් සීල් කොට තැබේ.
නොබෙල් ත්‍යාග පිරිනැමෙන්නේ මහා උත්සවයකිනි. එය පැවැත්වෙන්නේ දෙසැම්බර් දහවනදායි. ඒ දිනය නොබෙල් ත්‍යාග සමාරම්භක ඇල්ෆ්‍රඞ් නොබෙල් අභාවයට පත්වු දවසයි. ඒ ත්‍යාග උත්සව ප්‍රදානයට පෙර ත්‍යාගලාභීන් විසින් දේශනයක් පැවත්විය යුතුවේ. සාම ත්‍යාග ලාභීන්ගේ දේශන පැවත්වෙන්නේ නෝර්වේ දේශයේ ඔස්ලෝ නුවරයි. අන් අය විසින් දේශන පැවැත්විය යුත්තේ ස්වීඩන් දේශයේ ස්ටොක්හෝම් නගරයේදීය.


ස්ටොක්හෝම්හි නොබෙල් මහා භෝජන සංග්‍රහයට රජු හා රැජිණද සහභාගි වෙති.


නොබෙල් ත්‍යාග ලාභියාට අලංකෘත ඩිප්ලෝමා සහතික පතක් සහ රන්පදක්කමක් පිරිනැමේ. රන් පදක්කමේ ඇල්ෆ්‍රඞ් නෙබෙල්ගේ රූපය ඇත්තේය.


නොබෙල් ත්‍යාගයට අදාළ මුදල් ත්‍යාගයේ වටිනාකම වර්ෂයෙන් වර්ෂය ඉහළ නගී. මෙවර එය ඇමෙරිකානු ඩොලර් නව ලක්ෂයක් පමණ වේයැයි සළකනු ලැබේ.


2019යේ නොබෙල් ත්‍යාග ප්‍රදාන උත්සවයෙහි නව ලක්ෂනය නම් නොබෙල් සාහිත්‍ය ත්‍යාග දෙකක් පිරිනැමීමයි. මෙයට හේතුව 2018වේ. නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනමන්නට බැරිවීමයි.


2018දී සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමීමට සිටි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් අතර මතභේදයක් හටගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ 2018 වර්ෂය උදෙසා නොබෙල් සාහිත්‍ය ත්‍යාගයක් නැතිව යාමයි.


නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවයේ උච්චතම ලක්ෂණය නම් ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් නගරයේදී එක් එක් නොබෙල් ත්‍යාගලාභියාම ස්වීඩනයේ රජුගේ අතින්ම සිය ත්‍යාගය ලැබීමයි.


නෝර්වේ රාජ්‍යයේදී නොබෙල් සාම ත්‍යාගලාභියාට ඒ ගෞරවනීය ත්‍යාගය පිරිනමනු ලබන්නේ නෝර්වේහි රජු විසිනි.


එක  විෂය ධාරාවක නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනකු සිටින විට ත්‍යාග මුදල සමසේ දෙකට බෙදේ. තිදෙනකු සිටී නම් කොමිටියේ කැමැත්තට අනුව භාගයක් එක් අයෙකුට දී ඉතිරි කොටස දෙකට බෙදා ඒ අනික් දෙදෙනාට පිරිනැමිය හැකිය.


නොබෙල් සාම ත්‍යාගය ලද විශිෂ්ටයන් අතුරෙන් දහ හතරවන දලෙයි ලාමා තුමා, ඕං සාංසුකී මහත්මිය එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති බැරැක් ඔබාමා ආදී සම්භාවනීය පුද්ගලයෝ සිටිති.


නොබෙල් ත්‍යාගය කිසිම විටෙක නොලද ඇතැම් මහා පුරුෂයෝත් සිටියහ. ඔවුන් අතුරෙන් ප්‍රධාන වන්නේ මහත්මා ගාන්ධිතුමාය.


1948දී එතුමා ඝාතනය කරනු ලැබුවේය. ඊට දින කිහිපයකට පෙර එතුමාගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා සඳහන් කෙරිණි. එහෙත් කිසි විටෙක මහත්මා ගාන්ධි තුමාට නොබෙල් සාම ත්‍යාගය හිමි නොවුයේය.


(නොබෙල් ත්‍යාග ප්‍රදානයේ කොන්දේසිවලට අනුව මරණින් පසුව කිසිවකුට නොබෙල් ත්‍යාගයක් පිරිනැමෙන්නේ නැත).


නොබෙල් ත්‍යාගය කිසි කලෙක නොලද තවත් ශ්‍රේෂ්ඨ නිර්මාණ සාහිත්‍ය විශාරදයෙක් නම් ජේම්ස් ජොයිස්ය. ප්‍රබන්ධ කතාවක චරිත නිරූපනයේදී “විඥානධාරා ක්‍රමය” (ස්ටී්‍රම් ඔෆ් කොන්ෂස්නස්) නම් න්‍යාය භාවිත කරන ආකාරය ලොවට කියාදුන් අයිරිෂ් ජාතික ජේම්ස් ජෝයිස් නම් අසහාය නිර්මාණවේදී සාහිත්‍යයක විද්‍යාඥයාටද කිසි කලෙක නොබෙල් ත්‍යාගය පිදුනේ නොවේ.


ඔක්තෝබර් මාසය නොබෙල් ත්‍යාග පිළිබඳ විශේෂ කාල පරිච්ජේදයයි. ඒ වර්ෂයේදී තෝරාගන්නා ලද නොබෙල් ත්‍යාගලාභීන්ගේ නාම මාලාව ලොවට ඉදිරිපත් කෙරෙන්නේ ඔක්තෝබර් මාසයේදී හෙයිනි.


ඒ අලුත් නොබෙල් ත්‍යාගලාභී ලේඛනය, නොබෙල් ත්‍යාග පදනමේ සංවිධායකයන් විසින් ලෝකයාට ප්‍රකාශ කොට අවසන් වන්නේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් 14 වනදායි.
ඒ නිසා මේ දිනවල ප්‍රවෘත්ති මාධ්‍යයන්ට අවධානය යොමුකොට සිටින විට මෙවර නොබෙල් ත්‍යාගලාභී විද්වතුන් කවුදැයි දැනගත හැකිවේ.


අපගේ දේශයේ වෙසෙසින්ම විද්වත් පක්ෂය නොබෙල් ත්‍යාග කතාව ගැඹුරු ලෙස හැදෑරිය යුතුවේ. ඔවුන්ට ඒ ත්‍යාග මාලාවට එක්වන්නට මහා ධෛර්යයක් හා දැඩි පෙළඹවීමක් ඉන් සැපයෙන්නේය. නවීන දේ සොයාගන්නටත් අලුත් නිෂ්පාදන ඉදිරිපත් කරන්නටත් විශිෂ්ට දක්ෂතා ඇති අය පිළිබඳව මම වරින්වර ඇසුවෙමි. එහෙත් තාමත් ශ්‍රී ලාංකිකයකුට නොබෙල් ත්‍යාගයක් ලැබුණු බවක් නම් අප අසා නැත.


ලබන වසරේ ශ්‍රී ලාංකිකයෙකුත් නොබෙල් ත්‍යාගලාභියෙක් වේවා.

 

 

 


නොබෙල් ත්‍යාගලාභී කාන්තාවෝ


අවුරුදු 218ක නොබෙල් ත්‍යාග ප්‍රදානය පිළිබඳ දිඟු ඉතිහාසයෙහි ඒ උතුම් තිළිණය ලද කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉතාම අඩුය.
මෙතෙක් එකිනෙකට වෙනස් විද්‍යා විෂය ධාරා දෙකකින් නොබෙල් ත්‍යාගය ලබා සිටින්නේ මාරි කියුරි කාන්තාවයි.


ඒ ත්‍යාග දෙක ලද්දේ 1903 දී සහ 1911 දීය.


නොබෙල් ත්‍යාග ලබන කාන්තාවන් එතරම් බහුල නැත්තේ මක්නිසාදැයි සිතා ගැනීම තරමක් අපහසු කරුණකි.
මේ පිළිබඳව විචාරක මතයට යොමුවිය යුතු යැයි මට සිතේ.

 


මෙතෙක් පිරිනැමුණු නොබෙල් ත්‍යාග


නොබෙල් ත්‍යාග පිරිනැමීමේ ආරම්භය සිදුවුනු වර්ෂය 1901 අවුරුද්දයි. ඒ නිසා 2019 වනවිට ඒ සිද්ධියට අවුරුදු 118කි.


2019 නොබෙල් ත්‍යාග පිළිබඳ විස්තරය තවමත් ප්‍රකාශ වී නැත. එහෙත් 2018 වනවිට නොබෙල් ත්‍යාග 590ක් පිරිනමා තිබුණු බව නොබෙල් ඉතිහාසයේ පැවසේ.
ඒ කාල පරිච්ජේදය තුළ නොබෙල් ත්‍යාග ලැබු “නොබෙල්” විශිෂ්ටයන්ගේ සංඛ්‍යාව 935ක් බවද නොබෙල් වාර්තාවලින් අනාවරණයය.
තව නොබෝ දිනකින් 2019 වන වර්ෂයේ නොබෙල් ත්‍යාගලාභීන්ගේ නම් ප්‍රකාශයට පත්වේ.


එවිට අදවන විට නොබෙල් ත්‍යාගලාභීන්ගේ සංඛ්‍යාව හරිහැටි දැනගත හැකිවේ.

 


රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ගීතාංජලී කාව්‍යය

පැරැණි පතපොත


1861දී ඉන්දියාවේ ජනිත වූ රවීන්ද්‍රනාත් තාගෝර් මහා ඉසිවරයානෝ ජගත් පූජිත මහා දාර්ශනිකයෙක් වෙති.
සිය ගැඹුරු නුවණින් සොබාදහම විනිවිද දකිමින් විශාල ග්‍රන්ථ සමූහයක් කළ තාගෝර්තුමා ඉන්දියාවේ නිදහස් අරගලයේ නිමග්නව සිටියේය.
නවකතා, නාට්‍ය, පද්‍යමය නිර්මාණ දර්ශනවාදී අටුවා ආදිය නිෂ්පාදනය කළ තාගෝර්තුමා 1901 දී “ශාන්ති නිකේතය” නම් අධ්‍යාපන ජනපදයන් ඉන්දියාවේ පිහිටුවා ලූවේය. ඒ අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන අරමුණ වූයේ පෙර අපර දෙදිගම දර්ශන වාදවලින් යොවුන් සන්තානයන් පෝෂණය කොට සර්ව සම්පූර්ණ මිනිස් පරපුරක් පිහිටුවාලීමයි.
මේ “ශාන්ති නිකේතනයේ” ආභාෂය ලද ශ්‍රී ලාංකිකයෝ ද බොහෝය.


මෙහිදී එතුමා පිළිබඳව ඊටත් ඈතට විහිදෙන කරුණක් සඳහන් කළ යුතුවේ.


සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගයක් හිමිකොට ගත් ප්‍රථම ආසියානු පඬිවරයා වූයේද රවීන්ද්‍රනාත් තාගෝර්තුමායි. තාගෝර්තුමා සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය ලද්දේ එතුමන් විසින් කරන ලද “ගීතාංජලී” නම් පද්‍යමය නිර්මාණයටයි.


මේ පද්‍යමය කෘතිය ඉතා ගැඹුරට ආස්වාදය කොට එහි රසයෙන් වශී වූ විලියම් බට්ලර් සේට්ස් නම් ඉංගිරිසි කවියා ගීතාංජලිය කියවමින් ලබාගත් විශ්වඥානය නිසාම ඒ කවියා තාගෝර්තුමාගේ නිර්මාණය නොබෙල් සංවිධානයට ඉදිරිපත් කළේය.


තාගෝර්තුමා ඉන්දියාවේ නිදහස් සටනේ පූරෝගාමියෙක් වූයේය. අධිරාජ්‍යවාදී පාලනයේ නපුරුකම් දුටු තාගෝර්තුමා තමන්ට පිරිනමා තිබුණු නයිට් පදවිය (සර්) බැහැර කළේය. තාගෝර් නාමය නිර්මාණශීලීන් අතර තාමත් රැව් පිළිරැව් දේ.


RECOMMEND POSTS