රූමස්සල කන්ද: රාමායනයේ ගුප්ත සබඳතා



 

මිත්‍යා කතාව විශේෂ බලයක් සහිත ප්‍රවාදයකි. එවැනි නිර්මාණ යථා තත්ත්වයම නොවිය හැකිය. මිත්‍යාව කතාවකැයි කියන්නේ යථා තත්ත්වය නමැති ආවරණයේ ඉරුණු තැනකි. යම් යම් සිද්ධි සතු අධ්‍යාත්මික ශක්තිය, ඒ ඉරුණු තැන්වලින් බැහැරට ගලා බසින මිත්‍යා කතා යැයි කිය වන්නේ අන්න ඒ අධ්‍යාත්මික ශක්තියටයි. 
ජේ. පරීනී (1948) අමෙරිකානු ලේඛක ප්‍රබන්ධ කථා රචක

 

දිගු කලක් පැවත එන මානව වර්ගයාගේ සංස්කෘතික ජීවන ප්‍රවාහය සරු සාර වන්නේ සප්‍රාණික වන්නේ මිනිසා සතු දේව කතා මිත්‍යා කතා, සුරංගනා කතා ආදී නිර්මාණ සම්භාරයෙනි. හැම ජාතියකටම, හැම දේශයකටම පමණක් නොව කුඩා ගෝත්‍රවලට හා ජන කණ්ඩායම්වලට පවා ඒවාට විශේෂ වූ මිත්‍යා කතා වර්ග දේව ප්‍රවාද පද්ධති ඇත්තේය. 


අපගේ දිවයින් රාජ්‍යය ප්‍රමාණයෙන් නම් ඉතා කුඩාය. එහෙත් සිය වස් ගණනක් ඔස්සේ සශ්‍රීකව වැඩුණු මිත්‍යා කතා, දේව කතා හා ජනප්‍රවාද ආදියෙන් අපගේ දේශය ඉතා පෝසත්ය. 


අපගේ මහා වංශයෙහි ප්‍රධාන පෙළේ පාලකයන් 186 දෙනෙක් සඳහන් වෙති. ඔවුන්ට අතිරේක වශයෙන් ප්‍රාදේශික පාලකයෝත් බහුලව සිටියහ. ඔවුන් හා බැඳුණු විවිධ මට්ටමේ රාජ කතාත් අපගේ මිත්‍යා කතා ගණයට එකතු වෙති. 


එහෙත් ඒ සියල්ලටම වඩා විචිත්‍රාකාරයේ මිත්‍යා කතා ගබඩාවක් වශයෙන් සැලකිය හැකි, අදටත් ගුප්ත සේ පෙනෙන එහෙත් ජාතික හා දේශාන්තර මට්ටමේ ප්‍රසිද්ධියකින් හා ආකර්ෂණ ශක්තියෙන් හෙබි විස්මය දනවන ස්ථානයක් වෙයි. 


ඒ ස්වාභාවිකව පිහිටි මිත්‍යා කතා නිධානය නම් ගාල්ලේ උණවටුන ආශ්‍රිත රූමස්සල කන්දයි. 


මේ ස්ථානය පිළිබඳව පූර්විකාවක යෙදෙන්නට පෙර, මේ ඉපැරණි භූමි භාගය, අදත් ප්‍රවෘත්තිවලට මූලිකවන හැටි දක්වන සිද්ධියක් දෙස බලමු. ගිය සඳුදා ඉන්දියාවෙන් ලද ප්‍රවෘත්තියක්, ශ්‍රී ලංකාවේ පළ වුයේය. එහි කියැවූයේ මෙයයි ඉන්දියා ආණඩුව විසින් විශේෂ සංචාරක මෙහෙයක් ආරම්භ කෙරේ. එය නම් කෙරෙන්නේ රාමායන සංචාරක දුම්රිය ගමන වශයෙනි. නවීන පහසුකම්වලින් සුපිරි මේ රාමායන සංචාරක දුම්රිය මෙහෙයෙහි, ගමනට දින 16 ක් ගත වේ. ඒ කාලය තුළ රාමායන මහා කාව්‍යය හා ආශ්‍රිත පෙදෙස්වලට සංචාරකයන් රැගෙන යනු ලැබේ. එහි අවසාන අංශය ශ්‍රී ලංකා සංචාරයකි. මේ රටේ, රාමායනය ආශ්‍රිත පෙදෙස්වලට ඒ සංචාරකයෝ ගෙන එනු ලබති. ඒ අවසාන කොටසේ ශ්‍රී ලංකාවට එන ගුවන් ගමනකි. මෙසේ රූමස්සල අදත්, අලුත්ම ආරංචිවලට ප්‍රස්තුත වේ. 


රූමස්සල යන නම ලබන මේ භූ නිර්මාණය ගාලු නගරයට සැතපුම් දෙකයි කාලක් දකුණින් පිහිටියේය. එය ගාලු නගරයට දකුණින් පිහිටි දෙවට නම් ස්ථානය සිට බටහිර පෙදෙසට විහිදෙන්නේය. බටහිර තුඩුව නිමා වන්නේ වර්තමාන සංචාරක ව්‍යාපාර මධ්‍යස්ථානයේයි. රූමස්සල බටහිර තුඩුවෙහි කෙළවර ඉපැරණි දේවාලය පිහිටියේය. එහි වාර්ෂික පූජෝත්සවය පැවැත්වෙයි. 


ඒ දේවාල භූමියට තරමක් ඉහළින් බෞද්ධ සිද්ධස්ථානයක් පිහිටා සිටී. 


මුදු මට්ටමින් අඩි 200 ක් තරම් උසින් පිහිටි මේ රූමස්සල පර්වත කන්ද, විශේෂ ලක්ෂණ සහිත භූ නිර්මාණයකි. එය අවට තැනිතලා බිමත් හිටි අඩියේ උඩට නැඟෙයි. ඒ නිසා එය ඉංග්‍රීසියෙන් එස්කාප්මන්ට් (උත්සංගයක් සිටි හැටියේ උස් වූ භූ ලක්ෂණයක්) වශයෙන් විස්තර කෙරේ. එවැනි භූ ලක්ෂණයක් උද්ගත විය හැක්කේ යම් කිසි වස්තුවක් එතැනට, ඉහළින් වැටීම නිසා විය යුතුය. එහි කඩා වැටුණේ කුමක්ද? මෑතකදී මා කිය වූ ලිපියක ඒ ගැන අදහසක් පැවසේ. ලේඛකයා ප්‍රශංසාත්මක ලෙස කරුණු සොයා බැලූ අයෙකු බව පැහැදිලිය. එහෙත් එතැන වැටුණු දේ ගැන ඒ ලේඛකයා විසින් පැවසෙන දේ, සෞරග්‍රහ මණ්ඩලයේ නිර්මාණය පිළිබඳ විද්‍යාත්මක යථා තත්ත්වය හා අනුකූල නොවේ. සෞරග්‍රහ මණ්ඩලය තැනුණේ තැනීගෙන එන සූර්ය තාරකාවෙන් විහිදුණු ගිනිගත් විකිරණ ජාලා ඒක සහ වීමෙනි. එසේ ග්‍රහ ලෝක තැනුනාට පසුව යළිත් සූර්යා කෙරෙන්, උල්කාපාත ග්‍රහ ලෝකවලට නොවැටේ. ග්‍රහ ලෝකවලට වැටෙන ග්‍රහක හා ධූමකේතු අංශු, සෞරග්‍රහ මණ්ඩලයේ ඉතාම ඈත වටයේ පිහිටි ඕට් (ධධඔ) වළා ජාලයෙන් ගැලවී එන කොටස්ය. ඒවා සහ තැනින් ගැලවී සූර්යා වෙත ආකර්ෂණය වන අතර මඟදී ඉන් ඇතැම් කොටස් ග්‍රහ ලෝක මත ඇද වැටේ. 


ඒ නිසා රූමස්සල පර්වත කන්ද එවැනි දැවැන්ත ග්‍රහකයකු නිසා තැනුණේ විය හැකිය. මේ රූමස්සල පර්වත කන්දට පාදක වන ඝන ශිලා තලය එහි වැටුණේ අවුරුදු දශ ලක්ෂයකට පමණ පෙර විය හැකිය. පසුව ඒ ශිලා පදනම මත එක් වනු මිස වෘක්ෂලතා වර්ධනයට තුඩු දීමෙන් එහි ඝන වනයක් තැනුයේ විය හැකිය. 


නමේ නිරුක්ති කියන්නට සැරසෙන තැන්වලදී, යථා තත්ත්වය හා සමඟ නොගැළපෙන අරුත් කථන උද්ගත වේ. වාල්මිකී සෘෂිවරයා විසින් සිය රාමායනයෙහි පැවසෙන පරිදි, රාවණ රජු සීතාව නවත්වා තැබුවේ මහා මාළිගයකයි රැකවරණ නොඅඩුව තිබිණි. සිතා ගල් ලෙණක සිරකොට ගල් පවුරකින් ලෙන් දොර වසාලන මනසක් රාවණාට නොතිබුනේය. ඒ නිසා රූමස්සල යන්න රාමා ඉස්සූ ගල යන යෙදුමෙන් හැදෙන්නට ඉඩක් නැත. 


මෑත ඉතිහාසයෙහි පෘතුගීසි ලන්දේසි ජාතීහු මේ පෙදෙස බෝනා විස්ටා (ඊමදබ් ඪසිඒ) යැයි නම් කළහ. අරුත ලස්සන දර්ශනය. මේ පිළිබඳව ඇතැමුන් සතු මතය නම් ඔවුන් ඒ නම දුන්නේ රූමස්සල යන සිංහල නාමයෙහි අරුත යන්නය. රූමත් පර්වතය වශයෙන් තේරුම් ගැනීම යන්නය. එහෙත් මෙහි නියම නම රූමස්සල යන්නෙනි සකස් වූයේ එහි මුල් නම නිසායැයි මම ස්ථාවරවම සිතමි. මුල් නම (මා දන්නා ආකාරයට) රාමස්සල යන්නයි. රාමාගේ පර්වතය යන අරුති. එය රූමස්සල යැයි වෙනස්වීම පහසුය. රාමස්සල යන කොටස් දෙක ඒකාබද්ධ වූ පාට රාමස්සල යැයි සිටී. පසුව වඩාත් හුරු රූමස්සල බවට විකාශය විය. වාල්මිකී සෘෂිවරයාගේ මහා කාව්‍යයෙහි මේ ගල් තලාව, මෙතැනට එළැඹීම ගැන කෙරෙන විවරණය අතිශයින් ළගන්නා වෘතාන්තයකි. 


රාමායනයේ එන කතා අංශය මෙසේය. රාම රාවණ යුද්ධයේදී රාවණ පක්ෂයේ හීයක් වැදී රාම සොයුරු ලක්ෂ්මන් දරුණු ලෙස තුවාල ලද්දේය. වෙදනාවෝ රාමාට මෙසේ උපදෙස් දුන්හ. ලක්ෂ්මන් කුමරුගේ දිවි රැක ගත හැකි එකම ක්‍රමය නම් හිමාලය පර්වතයෙන් ලදැකි බේත් වර්ග හතරකින් නොපමාව චිකිත්සාවක යෙදීමයි. හෝරා කීපයක් තුළ මට ඒ බේත් පැළෑටි අවශ්‍යයි. පවනට බදු වේග ඇති හනුමන් ඒ ඇසු පමණින් හිමාලයට ගියේය. එහෙත් ඔහුට බේත් පැළෑටිවල නම් සහ ඒවායේ ස්වරූපය අමතක විය. ඔහු ඒ පැළෑටි තිබුණු හිමාලය පෙදෙසින් අවශ්‍ය බිම් පෙදෙස කඩාගෙන, ක්ෂණිකව වෙද නායකයා (මහ වෙදා) වෙදනාවන් වෙත ආයේ. වෙද නායකයා අවශ්‍ය බේත් පැළෑටි හතර ගලවා ගත් විට හනුමන්, ඒ ඉතිරි පර්වත පෙදෙස ඉවතට විසි කළේය. එය ඇද වැටුණේ උණවටුනේ රූමස්සල පිහිටි තැනි තලාවටයි. තැනිතලාව නොපමාවට පර්වත කන්දක් බවට පත් විය. 


ගෙන ආ ඖෂධ පැළෑටි මෘතසංජීවනී (මළවුන්ට පණ දෙන බේත් පැළෑටිය) විශල්‍යකරණී සුවර්ණකරණී සහ සන්ධනී) 
තරමක් අතීතයට යමු. මේ වනගත පෙදෙසෙහි මං මුළා වූවන් විසින් පැවසෙන ලදැයි ප්‍රසිද්ධ අත්දැකීම් පැරැන්ණන් විසින් පැහැදිලි කෙරේ. රූමස්සල වන ගහණයෙහි මං මුළා වූවන්ට පළ බර උයන් හමුවේ සිසිල් පැන් පිරි පොකුණු පහළ වේ. වන ගහනයෙන් ඉවත්ව යන මං මාවත් හමුවේ මළ අයට පණ දෙන කළුනික පැළෑටියක් මෙහි තිබිණැයි ද වයෝවෘද්ධයෝ කියති.


පෘතුගීසි, ලන්දේසි බි්‍රතාන්‍ය යුගයන් හිදී රූමස්සල පෙදෙස ඒ පාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් භාවිත කෙරිණැයි පැරණි ප්‍රවාදවල පැවසෙයි. සාගරය ආශ්‍රිතව තිබුණද ඉතා ප්‍රණීත බොන දිය සපයන දිය උල්පත් වන තීරයෙහි තිබිණි. කුඩා අවදියේදී, මම ද ඒවා දුටුවෙමි. 


එදා නැව්වලට බොන ජලය සපයනු පිණිස, තනන ලද ජලාශ (දිය කොටුවල) නටඹුන්ද තාමත් රූමස්සල කන්දේ දී දැකිය හැකි වේ. 
බි්‍රතාන්‍ය යුගයේදී මේ වන ගහණයෙහි පක්ෂි වර්ග පිළිබඳ නිරික්ෂණයෙහි යෙදුණු ක්ලයිව් බයර්ස් නම් පක්ෂි විද්‍යාඥයා විසින් වාර්තාකොට තිබෙන්නේ තමා රූමස්සල වන පෙදෙසෙහි දුර්ලභ පක්ෂි වර්ග හැටකටත් අධික සංඛ්‍යාවක් දැක්ක බවයි. 


උණවටුන හා සමගම රූමස්සලත් ඉපැරණි ඓතිහාසික ප්‍රවාද මාලා වලින් වර්ණීතය. මෙහිදී මා නිහතමානීව දක්වා සිටිනු කැමැති අගයැති කරුණක් වෙති. මා උපන්නේ උණවටුනේයි රූමස්සල පව්ව, අපගේ ගම්මානය රැක ගත් ස්වභාවික ප්‍රාකාරයක් වැනි විය. 
විදේශික සංචාරකයන් මේ උණවටුන මුහුද ආශ්‍රිත සාගරයෙහි අගය දැන ගන්නට දශක කිහිපයකට පෙර අපි ළමා දඟර වියේදී ඒ සමුද්‍ර ප්‍රදේශයේ චමත්කාරය ආස්වාදය කළෙමු. 


වයස දහ හතර පසළොස් කාලයේදී මාත් මගේ සම වයසකයෝත් රූමස්සල තීරයේ සමුදුරු වෙරළින් සිටිමින් මේ සුදිලෙන දිය කළෙහි සොබාවික රසය ආස්වාදය කළෙමු. අවට කිසි තැනක කෘත්‍රීම ගොඩ නැඟිලි නොවීය වැල්ල දේවාල බිමේ කොනට ගොස් මහ සයුර නැරඹූ අප දුටුවේ මහරළ පෙළ ගල් කුළුවල හැපී පෙණ නඟමින් විසිර යන ළගන්නා දර්ශනයයි. 


මාධ්‍ය සෘෂි මා හිතවත් ආතර් සී ක්ලාර්ක් උණවටුන මුහුද සතු ජගත් වටිනාකම සොයාගෙන ඒ ගැන ලොවට පැවසුවේ 1956 යේදීය. ඒ වන විට අපි ළමා කාලය ගෙවා හිත මිතුරු ඉන්දීය සමුදුරු පියසේ උණ වටුණ වැල්ලෙන් ඉවත්ව නාගරික පෙදෙස්වල දිවිය ගෙවන තැනට පත්ව සිටියෙමු. 


උණවටුනට පැමිණි උණවටුන් වැල්ල ආශ්‍රිත මූදේ කිමිදීමේ උච්ච තෘප්තිය විඳි ආතර් සී ක්ලාර්ක්, එදා ඒ වැල්ල අසල නිවසක වාසය කළේය. ඒ නිවස හිමියා මා හා සමග කුඩා වියේදී පාසල් අධ්‍යාපනය ලද සී.ටී. අමරසිංහ ය. 


උණවටුන යන ග්‍රාම නාමය වෙත යොමු වෙමු. ජනප්‍රිය නිරුක්ති දක්වන්නේ එය ආයේ ඔන්න වැටුණා යන කියමනෙන් යැයි අති සරල විවරණයක යෙදෙති. අපේ ගමට සිනා සෙන්නට ද ඔවුන්ට ඒ කෘත්‍රීම නිරුක්තිය ප්‍රයෝජනවත් විය. 


එහෙත් යථා තත්ත්වය මෙයයි. එය ඈත අතීතයේදී ඌණ පට්ටනම් වූයේය. යාපා පටුන දඹ කොළ පටුන මෙන් එය උණපටුන වූයේය. කල් යෑමෙන් ඒ නම උණ වටුන බවට විකාශනය විය. 


මෙය කුඩා පටුන වූයේ එය ගාලු පටුනේ අසල් වැසියා වීම නිසාය. 


ඉතා ඈත යුගයේදී ගාලු උණවටුන වරායනට රුවල් නැව් ඉබේම පාහේ අදනා ස්වාභාවික දිය රැල්ලක් තිබිණි. ඒ දිය රැළිවල ග්‍රහණයට අසුවන යාත්‍රා පහසුවෙන්ම උණවටුන වරායට හෝ ගාලු වරායට හෝ සම්ප්‍රාප්ත වෙයි. 


ඒ නිසාම ඉතා ඉහත කාලයේ පටන් යාත්‍රිකයෝ මේ දෙපමුනට එන්නට පුරුදු වී සිටියහ. අපට නැගෙන හිරින් සුමුදුර සිරස පිහිටි ජාවා රටේ නැවියෝ අපගේ වරායවලට යාත්‍රා කළහ. ඔවුන්ගෙන් ඇතැම්හු උණවටුන වරායට නුදුරුව පදිංචි වූහ. ඔවුන් නවාතැන් ගත් පෙදෙස ජා කොටුව යැයි නම් ලද්දේය. ගාලු වරායට නුදුරු පෙදෙසක් චීන කොරටුව වශයෙන් ප්‍රසිද්ධය. 


උණවටුන විශ්වයේම අපූරු පෙදෙසකි. ආතර් සී ක්ලාර්ක් විසින් දක්වා ඇති පරිදි උණවටුන වැල්ලට කිට්ටු සාගරයෙහි එක් ස්ථානයක මුළු පෘථිවිය පුරාම පවත්නා කාන්දම් කලාපයට අසු නොවන්නේය. 


මේ ස්ථානය සතු කාන්දම් රික්තය අජටාකාශය දක්වාම බලපාන්නේය. ආතර් සී ක්ලාර්ක් විශ්ව පර්යේෂකයා විසින් දක්වා ඇති කරුණකින් එය තහවුරු වේ. 


බොහෝ පණිවුඩ චන්ද්‍රිකා පිහිටුවා තිබෙන්නේ අජටාකාශයේ සැතැපුම් 21,300 ක් ඉහළිනි. ඒවායේ ඉන්ධන ක්ෂය වුවහොත් ඒවා පෘථිවි තලයට ආකර්ෂණය නොවේ. ඉන්ධන ක්ෂය වූ චන්ද්‍රිකා අජටාකාශයෙනි පාවීගෙන යති. ඒවා සිය පාවීම නවත්වා ස්ථාවරව සිටින්නේ හරියටම උණ වටුන මූදේ කාන්දම් කලාපයට අසු නොවන ස්ථානයට ඉහළිනි. 


මෙසේ මිහිතලයෙහිම අපූරු ගොඩ බිම් පෙදෙසක් වන රූමස්සල කන්දත්, මහා සාගරයේ පුදුම ස්ථානයක් වන කාන්දම් කලාපයට අසු නොවන පියසත් යන දෙවිදි විශ්වයම උණවටුන ආශ්‍රිතව පවතී. මේ පෙදෙස් ඉතා හොඳින් ආරක්ෂා කොටගෙන ඒවායේ සොබාවික ආශ්චර්යට හානි දායි විය හැකි බලවේග වළක්වා ගන්නට මේ රටේ අපි කැප විය යුතු වෙමු. 


රූමස්සල වන ගහණය මෙන්ම රූමස්සල මූදු ප්‍රදේශයම, මෙතෙක් හරි හැටි දැන ගත නොහැකි වූ ජීව විශේෂයන්ගෙන් ගහණය. තාමත් මිනිස් ඇසට අසු නොවූ යම්කිසි රූමස්සල වන ලැහැබක එදා ලක්ෂ්මන් කුමරුගේ ප්‍රාණය රැක දුන් මෘත සංජීවනී. 


බේත් පැළෑටිය සැඟවී තිබිය නොහැකිද? අසීමිත සමුද්‍ර ජීවී ජනපදයකට වාසස්ථාන සැපයූ විවිධ අපූරු සාගර නිවාසීහු තාමත් රූමස්සල පර්වත බෑවුම් හා සමග සම්බන්ධ වූ ඉන්දීය සාගරයෙහි නොමැතිද? 


ඒ සියල්ලටම වඩා අත්‍යවශ්‍යසේ මා දකින්නේ මේ රූමස්සල ආශ්‍රිත ගොඩබිම් සහ සාගරය පිළිබඳ සවිස්තර කතා බහක යෙදෙන්නට උද්‍යෝගිමත් පිරිසක් සංවිධානය කිරීමයි. 


 

මිනිසාට ඉතාම හොඳ කෑම වර්ග හතක්

 

සමහර රෝග වලින් පෙළෙන උදවිය, ඇතැම් කෑම වර්ග නොකා සිටිති. නොඑසේ නම් ඒවා අඩුවෙන් භාවිත කරති. එහෙත් නවීන විද්‍යාඥයන්ගේ මතය මෙසේය. “ඔබ අනුභව කරන දේත් ඔබ නොකා සිටින දේ තරම්ම ඔබගේ  යහපත් සෞඛ්‍යයට හේතුකාරක වේ.” මිනිස් ජීවිතයේ යහපත් සෞඛ්‍යය සඳහාත් මිනිසුන්ට රෝග හටගැනීම වළක්වන ප්‍රතිශක්තිය දියුණු කිරීම සඳහාත් ලෝකයෙන් ඉතාම හොඳ ආහාර වර්ග හතක් ඇලෙක්සැන්ඩ්‍රා සිෆරින් නම් විශේෂඥවරිය විසින් ලෝකයාට කියා දෙනු ලැබේ.


 ඒ ඉතා වටිනා මහාර්ඝ ආහාර වර්ග හත අපේ පාඨක ඔබට කියා සිටීමේ ප්‍රධාන හේතුව නම් මේ ආහාර වර්ග අපේ ශ්‍රී ලංකාවේ ද ඉතාම පහසුවෙන් ලද හැකි වීමයි. ඒ අතර වර්ග හත දෙස යොමුවෙමු.


1. කුම්බලා මාළුවෝ (ඉංගිරිසියෙන් මැකරල්)
කුම්බලාවා මේදයෙන් සරුය. ඒ සරු මේදය හෘදයාබාධ, මානසික පිරිහීම ගෙන එන අල්ස්හයිමර් රෝගය ආදිය වළක්වාලීමේ සමත්වෙති. කුම්බලාවා විටමින් බී 12 සහ විටමින් ඩී සම්පාදනය කරන්නේය. සිරුරේ ඇට ශක්තිමත් කරන්නේය. ප්‍රතිශක්තිකරණ ක්‍රියාදාමය වඩාත් යහපත් කරන්නේය. එසේම සිරුරට අවශ්‍ය චූණිකර (කැල්සියම්) උකහා ගැනීම පහසු කරන්නේය.


2. නිවිති. නිවිත සැලඞ් වශයෙන් සකස්කොට අනුභව කිරීම වඩාත් සුදුසුය. නිවිතිවලට මේද බහුල අලිගැටපෙර වැනි ආහාර වර්ගයක්ද මිශ්‍රකොට ගත හැකිය. එවැනි මිශ්‍රනයක් නිසා නිවිති එළවළුවේ අන්තර්ගත උසස් ගුණය වැඩිකොට  ගත හැකිවේ. නිවිති බලය, ශක්තිය වර්ධනය කරන ආහාර වර්ගයක් සේ ප්‍රසිද්ධය. විටමින් ඊ ලබා ගැනීමේ ඉතා යහපත් ප්‍රභවයක් හැටියටත් නිවිති ගුණයි. නිවිති අධික හරිත වර්ණ නිසා ඉන් ප්‍රකාශ වන්නේ පෝෂ්‍ය පදාර්ථ එහි බහුලව තිබෙන බවයි.


3. පෙයාර්ස් පේර:  පෙයාර්ස් ගෙඩි පෙති කපා චීස් මිශ්‍රකොට රටකජු ආදිය හා සමග සැලඞ් හැටියටද භාවිත කළ හැකිය. පෙයාර්ස් පේර තන්තු බහුලය, දියවැඩියාව, අතරයිටිස් (සන්ධි ප්‍රදාහය, ඉදිමීම්) ආදී රෝග වළක්වයි. ස්ථූල බව අඩුකොට ගැනීමටත් උපකාරී වේ.


4. බෙල් පෙපර්ස් (බෝල මිරිස්) මේවා කුඩා කැබලිවලට කපා හැකිනම් රතුවයින් ටිකක් හෝ විනාකිරි, ලුණු, ගම්මිරිස් සමග හෝ කවලම් කොට භාවිත කළ හැකිය. ඉතාම රතු බෝල මිරිස් වඩාත්ම ගුණයි. පිෂ්ඨ ධාතු අඩුයි. මේවා වේදනානාශක ශක්තියෙන්ද යුක්තයි. ඉදිමුම් අඩුකරන ගතියද සහිතය.


5. කුරක්කන් (බඩඉරිගු) මේවා සුප් වශයෙන් මෙන්ම තම්බා බත් වශයෙන් ද භාවිත කළ හැකිය. රුධිර පීඩනය අඩුකරයි. ආහාර දිරවා ගැනීමේ ශක්තිය දියුණු කරයි.


6. දෙළුම් ඇට  මේ දෙළුම් ඇට අමුවෙන්ම අනුභව කළ හැකිය. සැලඞ්වලටත් මිශ්‍ර කළ හැකි වේ. දෙළුම් ඇට කොලොස්ටරෝල් සහ රුධිර පීඩනය අඩුකරයි. විශේෂඥයන් විසින් පැවසෙන පරිදි දෙළුම් ඍජුවම මොළයේ ඉදිමීම් අඩුකිරීමේ ගුණයක් සහිතය. මොළයේ මාංශපේශි පිරිහීම වළක්වයි.


 7. කළු තේ (අපේ තේ) හොඳම ආරංචිය අපේ කළු තේ, ලොව ඉතාම හොඳ ආහාර හතෙන් එකක් වීමයි. ජාත්‍යන්තර විද්‍යාඥයන් කියන්නේ එය උණුවටත් සීතලටත් භාවිත කළ හැකි බවත් දෙළුම් යුෂ මිශ්‍ර කොටත් පානය කළ හැකි බවත්ය. කළු තේ භාවිතා කිරීමෙන් නහර නාඩි විවෘත වෙන බවත් සෛලවලට හානි පැමිණීම වැළැක්වෙන බවත් විද්‍යාඥ මතයයි. ඩිම්බකෝෂාශ්‍රිත පිළිකා හටගැනීමේ අන්තරාව වළක්වන සුළුය.


 

ලෝකයේ මහාම ධනවතා ජෙෆ් බෙසෝස්

 

ජූලි මස 16 වනදා මුළු ලොවටම බ්ලම්බර්ග් විද්‍යුත් මාධ්‍ය මගින් කරන ලද ප්‍රකාශයකට අනුව අද ලොව මහාම ධනවතා ඇමසන් ආයතනයේ සමාරම්භක හා එහි ප්‍රධාන කෘත්‍ය විධායක නිලධාරි ජෙෆ් බෙසෝස්ය.


 ඔහු හුදෙක් අද පමණක් නොව මුළු මහත් නවීන ඉතිහාසයේදීම පහළ වූ මහාම ධනවතා යැයි ඒ නිවේදනයෙන් පැවසෙන්නේය.
එක තත්පරයකට ඔහුගේ ආදායම ඩොලර් 3850 කි. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් හය ලක්ෂ දහසයදාහයි (616,000).


මේ මහා ධනවතාගේ පෞද්ගලික ධන ප්‍රමාණය ඩොලර් බිලියන 151.3 කි. ඩොලර් කෝටි 151300 කට කිට්ටු මුදලකි.


ලෝකයේ මහා ධනවතුන් අතර දෙවැනියා “මයික්‍රොසොෆ්ට්” ආයතනාධිපති බිල් ගේට්ස්ය. බිල්ගේට්ස් පින්දහම් කටයුතු සඳහා සිය ආදායමෙන් විශාල කොටසක් පරිත්‍යාග කළේ නැත්නම්, තාමත් ලෝකයේ මහාම ධනවතා ඔහුය.


අද ලොව මහාම ධනවතා වන ජෙෆ් බෙසෝස් සිය දිවි පෙවෙත ඇරඹුවේ ඉතාම පහත තට්ටුවකිනි.


ඔහු සිය පොත් අලෙවි කිරීමේ ව්‍යාපාරය ඉතාම සුළුවෙන් ආරම්භ කළ තැනැත්තෙකි. ඒ සුළු ව්‍යාපාරයට අවශ්‍ය පරිගණකය ඔහු තබා ගත්තේ තමාගේ ගරාජයේමය.


 එසේ දුකසේ ආරම්භ කළ දිවි ගමනේ වර්තමාන අරමුණ වී තිබෙන්නේ මිහිතලය අතහැර අජටාකාශ ගතවන නවීනතම යානා පෙළක් තනාලීමේ දැවැන්ත කාර්යයයි. ඔහුගේ අජටාකාශ ගවේෂණ ව්‍යාපාරය නම් කෙරෙන්නේ “නීල ප්‍රභවය” (බ්ලූ ඔරිජින්) වශයෙනි. ඒ සඳහා ඔහු විසින් වර්ෂයකට වැය කෙරෙන ධන ප්‍රමාණය ඩොලර් බිලියනයකි. 1964 රේ ජනවාරියේ උපත ලද ඔහුගේ අද වයස 54 යි. 1993 නේදී විවාහ ප්‍රාප්ත වූ ජෙෆ් බෙසෝස් සිව්දරු පියෙකි. මහ පොළොවේ අඩිය තබාගෙන උපන් ඔහුගේ රොකට්වලට සහ අජටාකාශ යානාවලට ආලෝක වර්ෂවලින් ගිණිය හැකි විශ්ව ජීවිත ලැබෙන්නට අනාගතයේදී ඉඩ ඇත්තේය.


 

 

ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ට මුණගැසුණු පිරිස 

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ දහසය වන ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් මහතා (1809-65) බොහෝ විචාරකයන්ට පෙනෙන්නේ, මෙතෙක් ඒ මහා රාජ්‍යය පාලනය කළ ජනාධිපතිවරුන් අතර ශ්‍රේෂ්ඨතමයා ලෙසයි. වරක් එතුමා සිය නිලධාරීන් පිරිසක් හා  සක්මනෙහි යෙදී සිටියේය. 


එසේ සිටියදී එතුමාට ඒ දේශයේ ඉතා වැඩිහිටි උසස් නිලධාරීන් පිරිසක් හමු වූයේය. ලින්කන් ජනාධිපතිවරයා ඔවුන්ට ආචාර කළේ යන්තම් හිස නමමිනි. ඉන් පසුව ලින්කන් ජනාධිපතිවරයාට මුණ ගැසුණේ ඉතා ළාබාල පිරිසකි. ලින්කන් ජනාධිපතිවරයා ඒ ළමුන්ට ආචාර කළේ දෙකට නැමෙමිනි.


මින් කුහුලට පත් නිලධාරියෙක් මෙසේ විමසීය. ජනාධිපතිතුමනි, ඔබ අර ඉහළ නිලධාරීන්ට ආචාර කළේ යන්තම් හිස නමලා ඒත් දරුවන්ට දෙකට නැමී ආචාර කළා. ඇයි ඒ. 


ජනාධිපති ලින්කන්ගේ පිළිතුර යහළුවා ඒ ඉහළ නිලධාරීන් උසස්ම තැන්වලට පත්වෙලා. ඉන් එහාට ඔවුන්ට යන්ට තැනක් නෑ. ඒත් කවුද දන්නේ මේ දරුවන්ගෙන් කෙනෙක් අනාගත ජනාධිපති වේද කියා. ඒ නිසා තමයි මා ඔළුවම දෙකට නැමී ආචාර කළේ.


 

අද ලොව ජනගහණය


ලෝක ජනගහණ දිනය, ජූලි 11 වනදාය. එදා ප්‍රකාශ වූ සංඛ්‍යාලේඛනවලට අනුව මේ මොහොතේ  ලෝක ජනගහණ ප්‍රමාණය 7,632,819,325 යි. (හත්සිය හැටතුන්කෝටි විසිඅටලක්ෂ දහනව දාස් තුන්සිය විසිපහකි.)


 නොබෝදා පැවැති ලෝක පාපන්දු ක්‍රීඩාවේ අවසාන වටය, සජීවී ලෙස නැරඹූ අයගේ සංඛ්‍යාව කෝටි තුන්සියය ඉක්මවා ගියේය.  පාපන්දු ක්‍රීඩාව අද ලොව අංක එකේ ක්‍රීඩාව වශයෙන් සැළකෙයි.


RECOMMEND POSTS