පඬිබවේත් ජාත්‍යාලයේත් සලකුණ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක



“කළගුණ ප්‍රකාශ කරන්නට සැරසෙන අයෙකුට වචන මදිකම නිසා දැනෙන අඩුපාඩුව මහා අභිධර්ම විද්‍යාඥයන්ට එවැනි තැනකදී දැනෙන අඩුපාඩුවටත් වඩා බොහෝ සේ අධිකය”. 
චාල්ස් කැලෙබ් කොල්ටන් (1780-1832) 
ඉංග්‍රීසි ජාතික ලේඛකයා. 
“රන් මල් හැළෙන කරුණාබර හිනාවට
පණ්ඩිතකමට යළි සිහි කල්පනාවට 
තැන්පත් කමට රූපෙට වාසනාවට 
උන් මගේ පුතා අයියෝ නැති වුණා මට” 
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියෝ. 
(ජයතිලක ජනනේතෘවරයාගේ අභාවයෙන් ලක් මව නගන විලාපය විලාසයෙන් රචිතයි.) 

 

සපිරි ගැඹුරු විද්වත් භාවයත්, අත්‍යයන්ත දේශ ප්‍රේමයත්, අව්‍යාජ ජන භක්තියක්, අචල සාමයික ගෞරවයත්, අක්ලිෂ්ට චරිත ශක්තියත් අව්‍යාජව මානව සේවයට නියැළීමේ ගුණයත් වැනි විශිෂ්ටතා සමුදායක් එක්කළ ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු, කෘත ගුණ පෙරටුව සිහිපත් කෙරෙන මොහොතක් එළැඹී ඇත්තේය. 


එසේ ඉඳහිට හෝ මේ දේශයේ මහා පුරුෂයන්, සිහිපත් කොට ගැනීම, අප විසින් අපටම කෙරෙන උපහාරයක් වැනිය. මක්නිසාද යත්, අප එවැනි ශ්‍රේෂ්ටයන් අමතක කළේ නැතැයි යන අති තෘප්තිදායී හැඟීම ඉන් අප සිත් තුළ පහළ වන හෙයිනි. 


අද අප සම්මාන පූර්වකව සමරන සුවිශිෂ්ට පුද්ගලයා, අප විසින් මේ සමයේදී දිනපතා වුවද සිහිපත් කළ යුතු හැමදාම සමකාලීන මානව නිධානයකි. 


අපගේ ප්‍රශස්ත ප්‍රස්තුතය වන ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක ජනනේතෘවරයානෝ විවිධ කෞශල්‍යතා සහ ඥාන ධාරා රැසක්, සිය ජීවිතය තුළ එකට එකතු කළ අසහාය පුරුෂයෙකි. එතුමන් අති පුජනීය නදී සමුහයක් ඒකාබද්ධ වන මහා පයාග තීර්ථයක් වැනිය. එවැනි සනාතනික උපමාවකට එතුමාණයන්ගේ සම්භාව්‍ය චරිතය අත්‍යන්තයෙන්ම උචිතය. 


ජයතිලක ශ්‍රීමතාණන්ගේ ජීවන වෘතාන්තය, මෙසේ ශාඛා ප්‍රශාඛා සහිතව වර්ධනය වීමට හේතුකාරක වු ප්‍රධාන සාධකයක් වෙයි. එය සැකෙවින් මෙසේය. වරප්‍රසාද සහිත නිවෙස් පසුබිමක වැඩෙන විට එතුමාට එදා ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයෙහි හැමපැත්තක්ම අතිශය පැහැදිලිව දැකිය හැකි වුයේය. 


ඉතා කුඩා අවධියේ පටන් දේශජ සංස්කෘතියේ සහ සාමයික සම්ප්‍රදායයෙත් හර පද්ධති මුල් තැන්හි ලා සැලකූ නිවෙසක සංවේදී සන්තානයක් සහිතව වැඩුණු ජයතිලක දරුවාට පෙනුනේ සිත්පාරන දර්ශනයකි. එදා සිය නිවෙස හා සිය ගම් හා නගර ආශ්‍රිතව බොහෝ දෙනා ගත කළ ජීවිතයෙනි. අපගේ දේශජ සංස්කෘතික ලක්ෂණ නොමැති බව හා වෙසෙසින්ම අපගේ ජීවන පුරුදු වලට පිටස්තර වු ගති පැවතුම් සමහරුන්ගේ චර්යාවල අන්තර්ගත බවත් ඔහුට අවබෝධ විය. ඉනික්බිතිව ඔහුගේ වැඩෙන චරිතය කෙරේ බලපෑ ප්‍රබල සම්ප්‍රදායයන් වුයේ පියාණන්ගේ අනු දැනීමෙන් ඔහු කිට්ටුවෙන් අවබෝධ කොට ගත් බෞද්ධ සිද්ධාන මුල් කොට ගත් ආගමික සම්ප්‍රදායයයි. 


ජන සේවය ඔහුට කුඩා කල සිටම හුරු පුරුදු වුයේ පවුලේ සාමාජික ප්‍රභුත්වය නිසාය. සිය මවුපියන්ට නෑදෑයන්ට ජනතාවගෙන් ලැබෙන හරසර ජයතිලක දරුවා තුළ ජන මෙහෙය පිළිබඳ  හැඟීම් දැන්වීමේ සමත්විය. 


ශ්‍රීමත් ජයතිලක විද්වතා උපත ලැබුවේ 1868  පෙබරවාරි 13 වනදා කැලණියේ වරාගොඩ ගම්මානයේය. මවුපියෝ ප්‍රාදේශීක ප්‍රභූත්වය සහිත පවුල් වල අය වුහ. ඉසුරුමත් බව, ඒ දෙපසෙහිම නිසි පරිදි තිබිණි. මා පිය දෙපක්ෂයේම අය අතිශය බැතිමත් බෞද්ධයෝ වූහ. සහෝදරයෝ රාජ සම්මාන ලද මුදලි මුහන්දිරම් වරුවූහ. 


යොවුන් ඩී.බී. ගේ සන්තානයට විශිෂ්ටත්වය දුන් ඔහුගේ ශාස්ත්‍රීය ගවේෂණ ශක්තියෙන් විවිධත්වය සහිත විෂයධාර ගැඹුරට හැදෑරීම සඳහා එතුමා තුළ පැවති විචක්ෂණා භාවයත් අත්‍ය්‍යන්තයෙන්ම විස්මය උපදවන සුළුය. 


මේ බහු විධ ක්‍රියාදාම එතුමා සිය චරිතය තුළ එක් තැන් කොට ගත්තේ කවර ශික්ෂණයන් මගින් දැයි අප තුළ බොහෝ විට කුතුහලයකුත් උපදී. 


සිංහල පාලි සංස්කෘත භාෂාවන් ක්‍රමවත්ව හදාළ එතුමා ඉංග්‍රීසියෙහි ව්‍යක්ත භාවය ද අත්පත් කොට ගත්තේය. අද පර්යේෂණ සඳහා ඉතා දියුණු ක්‍රම හා තාක්ෂණික පහසුකම් තිබිය දීත් නවීනයන් විසින් කළ නොහෙන විදියේ ශාස්ත්‍රීය හා අධ්‍යාපන කටයුතු මහා සම්භාරයක් සඳහා එතුමාට ඒ දැවැන්ත ශක්තිය ලැබුණේ කොහෙන්ද? 


එතුමා සම්භාව්‍ය සිංහල සාහිත්‍යයට අයත් මහා ග්‍රන්ථ සමුහයක් තනිවම සංස්කරණය කළේය. ඉමක් කොණක් නැති රාජකාරි සාගරයක් මැද්දේ එතුමා සිය ග්‍රන්ථවල ගෝධ්‍ය පත්‍ර කියවුයේය. අපි මඳක් ඒ පක්ෂයෙන් බැහැරව වෙන අන් ප්‍රදේශයකට යොමු වෙමු. 


යොවුන් ඩී.බී. කල්කටා විශ්වවිද්‍යලයෙන් හා ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද්දේය. ඔක්ස්ෆර්ඞ් විද්‍යාලය විසින් බී.ඒ. සහ එච්.ඒ. උපාධි පිරිනැමිනි. ලන්ඩන්හි නීති විද්‍යා පීඨයෙන් බැරිස්ටර් ගෞරව උපාධි ගත්තේය. 


මේ සියල්ල පුදුම උපද වන සුළු යැයි ද සිතමින් එතුමා මේසා පෘථුල විෂය ධාර රැසක් උගෙන ගන්නට කාලය හා පරිශ්‍රමය ලබා ගත්තේ කෙසේ දැයි සිතන්නට ඔබ පටන් ගත්තොත් ඒ සිතුවිලි ධාරාවට තවත් අති ව්‍යාප්ත ප්‍රදේශයක් එකතු කරන්නටත් සිදු වන්නේය. 
ඒ දැවැන්ත ක්ෂේත්‍රය නම් ප්‍රායෝගික දේශපාලන ව්‍යාපාර රාශියයි. එතුමා දේශපාලනයට එළඹෙන විට, මේ දේශයේ සමාජ ප්‍රභූත්වයෙහි උන් බොහෝ දෙනෙක් දිවි නොතකා, ජාතික විමුක්තිය ලබා ගැනීමේ සටනෙහි නිමග්නව සිටියහ. 
එතුමා දේශපාලනයට එළඹුණේය. 


එයද හුදු දේශපාලන ක්‍රියාවලියට පමණක් සීමා නොවීය. සමාජ පීඩත මත් පැන් උවදුරට එරෙහිව එතුමෝ අමද්‍යප ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ නිතර වුයේය. 


මේ දේශයේ බෞද්ධ පුනරුදයක් සඳහා අත්‍යවශ්‍ය වු තරුණ බෞද්ධ සමිතියේ සමාරම්භකයානෝත් ප්‍රථම සභාපතිවරයානෝත් එතුමෝයි.


අප තවමත් එතුමාණන්ගේ මහා මෙහෙවරෙහි, අති ප්‍රබල පක්ෂයක් දෙස නෙතග බැල්මක් හෝ යොමු නොකළෙමු. 


ඒ එතුමාණන් විසින් විචිත්‍ර මට්ටමෙන් ඉටු කෙරුණු දේශපාලක කාර්ය රටාවයි. ඒ යුගයේදී දේශපාලන ක්‍රියාවන්හි යෙදීම, ජීවිතයත් මරණයත් අතර දෝලනය වු අති අභියෝගාත්මක කාර්ය පද්ධතියකි. මක්නිදා යත්, නිදහස් සටනට සහභාගී වන හැමෝම, සතුරන්ගේ සැලකීම එදා මෙදා පාලනය කළ යටත් විජිතවාදී නිලධාරි පෙළැන්තියේ සම්මත ප්‍රතිපත්තිය වු හෙයිනි.


 නිදහස් සටන හේතු කොට ගෙන ශ්‍රීමත් ඩි.බී. ටත් බන්ධනාගාර ගත වන්නට සිදු විය. එහෙත් එතුමානෝ ඉන් නිරුපද්‍රිතව එළියට අවුත්, නිදහස සඳහා කළැ කී උපරිම පරිත්‍යාග සඳහා වුවද, සැදී පැහැදී සිටියහ. 


නිදහස දිනා ගැනීමේ අභිප්‍රායයෙන් සංවිධානය කෙරුණු ලංකා ජාතික සංගමයෙහි සභාපතිත්වයෙන් පුද ලද දේශපාලනඥ ජයතිලක මහතා ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් කෙරුණේය. 


1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක පදවියටත්, ස්වදේශ කටයුතු භාර ඇමති තනතුරටත් පත්වීම ලද එතුමා විචක්ෂණ රාජ තාන්ත්‍රිකයෙකු සේ, කීර්ති උපහාර ධාරාවනට ලක් වුයේය. 


මන්ත්‍රණ සභා විවාදවලදී එතුමා විසින් ප්‍රදර්ශනය කරන ලද වාග් ශෛලීන්, අතුරින් ඇතැම් තැන් තාමත් ඇතමුන්ගේ මනසෙහි තැන්පත්ව තිබෙන බව මට දැනේ. 


වරක්, රාජ්‍ය මන්ත්‍රණ සභා විවාදයකදී එතුමාට, ප්‍රතිපාක්ෂිකයෙක්, ඉතාම දරුණු කියුණු වාග් ප්‍රහාර එල්ල කළේය. ඔහුගේ කර්කශ ආක්‍රෝශ මාලාව කෙළවර වු තැන, සර් ඩී.බී. නැගී සිටියේය. 


එතුමාගේ පිළිතුර මෙසේ විය. වරක් කෝපාවිෂ්ටව බුදු හිමියන් වෙත ආ නපුරු බමුණෙක් ආක්‍රෝශ පරිභව රැල්ලකින් බුදු හිමියන්ට බැණ වැදුණේය. දැන් අවසාන දැයි බුදු හිමියන් ඇසු පැනයට ඔව් යැයි බමුණා පිළිවදන් දුන්නේය. බුදු හිමියෝ මෙසේ ඇසුහ. ඔබගේ නිවසට ඔබ නෑදෑ හිතවත් පිරිසකට භෝජනයක් සඳහා එන්නැයි ඇරයුම් කරනවා. ඔවුන් වෙනුවෙන් කුමක් කරන්නේද? මම ඉතාම ප්‍රණීත ආහාර පාන සූදානම් කරනවා. ඒ ප්‍රණීත භෝජනයට වළ ඳන්නට ඔවුන් ආවේ නැත්නම් ඒවා මම මගේ පවුලේ අය හා සමග වළඳනවා. 
මේ කතාව කියා සර්. ඩී.බී. තමාට බැණ වැදුණ මන්ත්‍රීවරයා ඇමතුවේය. ගරු මන්ත්‍රීතුමනි, ඔබ අතෝරයක් නැතිව කළ පරිභව මම පිළි නොගත්තෙමි. ඒ නිසා ඒ ආක්‍රෝශ පරිභව කැත කතා සියල්ල ගෙන ගොස් පවුලේ අය හා සමග එක්ව වළඳන්න. 


මුළු මන්ත්‍රණ සභාවම නිශ්ශබ්ද වුයේය. එතුමා සිය විචිත්‍ර දිවි පෙවෙතේ අවසාන සමයේදී විවිධ ගරු සම්මාන උපහාර බොහෝ සේ ලැබුවේය. 


1942 දී ලංකාණ්ඩුකාරවරයා විසින් එතුමා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවියට පත් කරනු ලැබුවේය. එහිදී එතුමාගේ සෞඛ්‍යය අයහපත් අතට හැරුණේය. 


තමාගේ අසනීපය සඳහා ලංකාවේ ආයුර්වේද චිකිත්සාව ලබා ගත යුතු යැයි එතුමෝ ගුවන් යානයෙන් සිය දේශයට එන්නට සැරසී සිටියහ. 


අතරමඟදී ගුවනෙහි දී එතුමාගේ අවසානය සිදු වුයේය. 


අන්තිම වරට එතුමා විමසු පැනය මෙයයි. දැන් අපි ලංකාවට ඇවිල්ලාද? 1944 මැයි 29 වන ගුවන් තලයේදී එතුමාගේ අභාවය සිදු වුයේ ඒ අයුරිනි. 


එහෙත් මෙවැනි විශ්‍රැත ගුණාංග සමූහයකින් හෙබි ශ්‍රීමත් ඩී.බී. ජයතිලක විශිෂ්ට ජන නේතෘවරයාගේ අති විශිෂ්ට චරිතය පිළිබඳව නවීනයන්ට කියා දෙන පරිපූර්ණ චරිතාපදානයක් තාමත් අප දේශයේ සකස් වුයේ නොවේ. සිංහල ශබ්දකෝෂයේ සමාරම්භක කතුතුමන්ගේ චරිතය ග්‍රන්ඨාරූඪ කොට නොතිබීම, ජාතියක අපව කම්පාව දනවන කරුණකි. එතුමන්ගේ උපතින් 150 වන වස එළඹීමේදී වගකිව යුතු ලෙස මේ ගැන අවධානය යොමු කිරිම ජාතික යුතු කමකි. 


 
 

උතුරු දකුණු කොරියා සාම එකමුතුවක්

මේ දිනවල ලොව පුරා ජන මාධ්‍ය විසින් බොහෝ සේ ඉස්මතු කොට දැක්වෙන සිද්ධියක් නොබෝදා දකුණු කොරියාවේ සිදු වුයේය. 
මෙවර හිම සමයේ ඔලිම්පික්  ක්‍රීඩා උත්සව පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ පියෝධ ං චාං ප්‍රදේශයේයි. 


ඒ උත්සව සඳහා උතුරු කොරියාවෙන් ද විශාල ක්‍රීඩා කණ්ඩායමක් එවනු ලැබීය. 


එහෙත් ඒ ක්‍රීඩකයන් සියලු දෙනාටම වඩා ජාත්‍යන්තර ප්‍රසිද්ධිය ලද්දේ උතුරු කොරියා රාජ්‍යයේ නියෝජිතවරියක් වශයෙන් දකුණු කොරියාවට පැමිණි කාන්තාවකි. ඒ කාන්තාව නම් උතුරු කොරියාවේ නපුරු ජනාධිපතිවරයා වන කිම් ජොංඋන්ගේ නැගණියයි. උතුරු කොරියා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතවරියක් පැමිණි ඒ කාන්තාවගේ වයස 30 යි. ඒ කාන්තාව අධ්‍යාපනය ලැබුවේ ස්විට්සර්ලන්තයේයි. දකුණු කොරියාවට පැමිණි ඒ කාන්තාව අතට අත දී පිළිගනු ලැබුවේ දකුණු කොරියානු ජනාධිපති මුන් විසිනි. මේ ඡායාරූපය ලොව පුරා ප්‍රචාරය විය. උතුරු කොරියාවෙන් පැමිණි නාට්‍ය කණ්ඩායමක් විසින් දකුණු කොරියාවේදී උතුරු කොරියානු නාට්‍ය ප්‍රසංගයක් පවත්වන ලදී. එය නරඹද්දී උතුරු කොරියා ජනාධිපතිගේ නැගණිය වන කිම් යෝ ජොං දකුණු කොරියා ජනාධිපතිවරයා හා සමග එක්ව අසුන්ගෙන සිටියහ.  


මේ උතුරු දකුණු කොරියා හමුවේ විශේෂ ලක්ෂණයක් වුයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය නැගණිය අත, දකුණු කොරියා ජනාධිපති මුන්ට එවන ලද ආරාධනයකි. ඒ ආරාධනාවෙන් කියැවුණේ දකුණු කොරියා ජනාධිපති මුන් උතුරු කොරියාවේ සංචාරයක් සඳහා පැමිණිය යුතු බවයි. 


දකුණු කොරියා ජනාධිපතිවරයා එය පිළි ගත්තේ හෝ ප්‍රතික්ෂේප කළේ හෝ නොවේ. 


උතුරු කොරියානු කාන්තාව දකුණෙන් පිරිනැමුණු කිම් චි සහ ගෝජු කෑම වර්ග මූන් හා සමග එක්ව අනුභව කළාය. ඒ කාන්තාව කියා සිටියේ දකුණු කොරියාව තමන් වෙසෙන උතුරු කොරියාවට වඩා එතරම් වෙනසක් සහිත නැති බවය. මේ සංචාරය නිසා උතුරු දකුණු කොරියා රාජ්‍ය අතර සංහිඳියාවක් හට ගැනීදැයි කිව නොහෙන නමුත් උතුරු කොරියාවෙන් පැමිණි අය පෙරළා උතුරට ගියේ දකුණු කොරියාව පිළිබඳ සුහද චින්තනයක් සහිතව යැයි මාධ්‍ය විසින් වාර්තා කෙරිණි. දකුණු කොරියාවේ ඔලිම්පික් උළෙලට ඇමfරිකා එක්සත් ජනපද රාජ්‍යයේ උප ජනාධිපති මයික් පෙන්ස් මහතා ද සහභාගී විය. 


එහෙත් ඒ මහතා උතුරු කොරියානු නියෝජිතයන් සමග සාකච්ඡා කළේ නැත. 


 

ජර්මනියේ සභාග ආණ්ඩුවක් 

ජර්මනිය පාලනය කරනු ලබන්නේ බ්‍රන්ඩස්ටාන් මන්ත්‍රණ සභාව මගිනි. 


ඒ සඳහා ඡන්දය පවත්වා ටික කලක් ගත වුවද, ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් මහත්මියට තනිව පාලනයක් කරගෙන යා හැකි නොවීය. 


පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ආසන සංඛ්‍යාව 709 කි. එහෙත් මර්කල් මහත්මියට ලැබුණේ ආසන 246 ක් පමණි. 


ඒ නිසා එතුමියට සෝෂල් ඩිමොක්‍රැටික් පක්ෂය හා සමග සභාග ආණ්ඩුවක් පිහිටුවා ගන්නට සිදු වුණේය. සෝෂල් ඩිමොක්‍රැටික් පක්ෂය විසින් ආසන 153 ක් දිනා සිටී. මේ දෙපක්ෂය ඒකාබද්ධ වු විට සභාග ආණ්ඩුවට ආසන 399 ක් හිමි වේ. එසේ වු කල්හි ඇන්ජෙලා මර්කල් චාන්සලර් වරියට නායකත්වය ලැබෙන ආණ්ඩුවක් තැනෙන්නේය. 


(චාන්සර්ල් යන පදය අගමැති යන්නට සමානය.) 


සෝෂල් ඩිමොක්‍රැටික් (එස්පීඩී) පක්ෂයේ නායක මාටින් ෂූල්ස් සභාග රජයේ විදේශ කටයුතු අමාත්‍ය පදවිය ලබන්නේය. 


මෙසේ ඇන්ජෙලා මර්කල් මහත්මියට, සභාග රජයක් පිහිටුවා ගත හැකි නොවී නම්, ඇය අදහස් කළේ යළිත් අලුතින් ඡන්ද විමසීමකට යන්නයි. එහෙත් දැන් එවැන්නක් අවශ්‍ය නොවේ. ඇන්ජෙලා මර්කල් මහත්මිය, යුරෝපා සංවිධානයේ ප්‍රධාන ස්ථානයක් දරන්නීය. යුරෝපා සංවිධානයේ ස්ථාවරතාවය සඳහා එතුමියගෙන් සැපයෙන සහාය සම්මානයෙන් සැලකේ. 


සුරා පුරුද්දෙන් ගැලවීම

එක් තැනැත්තෙක් අතිශයින්ම සුරාවෙහි ගැලී සිටියේය. ඔහු සුරාවෙන් මත්ව ගෙට ආවිට ගෙදර අය ඔහුට දොස් පවරති. ඔයා සුරා මතින් ගෙදර එන්නේ කිසිම පණක් කඳක් නැතිව. බලන්නකෝ ඔයාගේ හැටි. නෑ මට ශක්තිය තියෙනවා යැයි කියන සුරා මතින් සිටින තැනැත්තා තමාට ශක්තිය තිබෙන බව පෙන්වන්නට ගෙදර බඩු කඩන්නේය. පිඟන් කෝප්ප බිඳින්නේය. 


පසුව සුරාවෙහි ආදීනව අවබෝධ වී ඔහු සුරාව අත් හැරියේය. ඔහු දැන් තැන්පත්ව ගෙදර සිටියි. එවිට ඇතැම්හු ඔහුට මෙසේ කියති. මත් පැන් නැතිව දැන් ඔයාට ශක්තියක් නැතුව වාගෙයි නේද? සුරාව අත් හළ තැනැත්තා මෙසේ කියයි. නෑ සුරාව අත් හැරියාට මට ශක්තිය තිබෙනවා. මේ බලන්න සුරාව නැතක් ශක්තිය තිබෙන බව පෙන්වන්නට ඔහු බඩු කඩන්නේය. පිඟන් කෝප්ප බිඳින්නේය.


අවුරුදු කෝටියක් වයසැති ගෝනුස්සා

මැතක දී චීනයේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් අග්නිදිග ආසියාවේ වන ගහණ වල තිබී තෘණමණි (ඇම්බර්) විශේෂයක් සොයා ගන්නා ලදී. විනිවිද පෙනෙන ඒ තෘණමනි තුළ ගෝනුස්සෙකුගේ වැනි වල්ගය සහිත සතෙකු සොයා ගන්නා ලදී. 
ඒ සත්වයා ඒ තෘණමණියේ හිර වී තිබෙන්නේ මීට යටත් පිරිසෙයින් අවුරුදු දශ කෝටියකට වත් වඩා පෙර යැයි විද්‍යාඥයෝ පවසති. 
මෙහි විස්මය උපදවන දේ නම් විද්‍යාඥයන් කණ්ඩායම් දෙකක් විසින් මෙසේ හිර වී සිටි ගෝනුස්සන් වැනි අවුරුදු දශ කෝටියක් පැරණි ජීව විශේෂයක් සොයා ගැනීමය. 


 

කාම සූත්‍ර

මෙහි නම කාම සූත්‍ර වුවද, එය හින්දු භක්තිකයන්ගේ ආගමික චින්තන හා සමග සම්බන්ධ වු කෘතියකි. එය ලියන ලද්දේ වාත්සායන නම් සෘෂිවරයා විසිනි. එහි මුල් බස සංස්කෘත භාෂාවයි. 


හින්දු සමයෙහි පුරුෂාර්ථ හතරක් නියම කෙරේ. ඒ හතර නම් අර්ථ (ලෞකික සම්පත්) ධර්ම (පරිශුද්ධ ජීවන චර්යාව) කාම (ආශාවන් උච්ච ශික්ෂාවෙන්) සපුරා ගන්නා ආකාරය සහ මෝක්ෂ (විමුක්ති ලාභය) මේ එක එක සඳහාම විවිධ හින්දු විශාරදයෝ ගැඹුරු පොත් නිර්මාණය කළහ. චාණක්‍යගේ අර්ථ ශාස්ත්‍ර නම් සම්භාව්‍ය ග්‍රන්ථය ලෞකික සම්පත් නිසි ආකාරයෙන් පරිහණය කිරීම පිළිබඳවයි. විද්‍යාඥයන්ගේ මතයක් ඇත්තේය. එයට අනුව කිස්තු පූර්ව 400 ටත් 200 ටත් අතර කාලයේදී ඉපැරණි කාම සූත්‍ර කෘති තිබුණු බවත් අප මේ සලකා බලන වාත්ස්‍යායන්ගේ කාම සුත්‍රය ඒ පැරණි කෘති සංග්‍රහ කොට ක්‍රිස්තු වර්ෂ දෙකේදී පමණ සකස් කරන ලද ග්‍රන්ථයක් බවයි. වාත්ස්‍යායනගේ කාම සූත්‍ර ග්‍රන්ථයෙහි ශ්ලෝක 1250 ක් අන්තර් ගතය. එහි පරිච්ඡේඡඡ්ද 38 කි. ඒ පරිච්ඡෙද කොටස් හතරකට බෙදා දැක්වේ. 


මේ කාම ක්‍රියාවන්හි විවිධ පැති ඒ කොටස් වල සඳහන් වේ. 


මේ පොත විවිධ භාෂා වලට පරිවර්තනය වී ඇත්තේය. 


මේ ග්‍රන්ථය කළ වාත්ස්‍යායන ඉන්දියානු දර්ශනවාදියෙකි. වාත්ස්‍යායන බරණැස්හි වාසය කරමින් භාවනාවේ යෙදී සිටියේය. 


වරාහ මිහිර නම් සංස්කෘත කවියා විසින් වාත්ස්‍යායනගේ අදහස් භාවිතා කොට ඇත්තේය. විරාහ මිහිර ජිවත් වුයේ හය වන ශත වර්ෂයේයි. ඒ නිසා වාත්ස්‍යායන ඊට පෙර ජීවත් වු පඬිවරයෙකු බව පැහැදිලිය. වාත්ස්‍යායනගේ කාම සූත්‍රයේ කොටස් මෙසේය. 1 ජීවිතයේ මුලික අරමුණු: දැනුම ලබා ගනී. 2 කාම සංගම් 3 භාර්යාවක් සොයා ගැනීම, 4 භාර්යාවගේ යුතුකම් සහ වරප්‍රසාද, 5 අන් අඹුවන් පිළිබඳව 6 නගර ශෝභණීන්, 7 ශූඨ විද්‍යාත්මක චින්තන හා පුරුදු මේ ග්‍රන්ථ ලෝක සාහිත්‍යයේ සම්භාවනීය කෘතියකි. 


RECOMMEND POSTS