ජූනි අට බ්‍රිතාන්‍ය මහ ඡන්දයට කුරිරු ත්‍රස්ත අපලයක්



 

“ලෝක ජනතාවගේ සාමුහික ශක්තිය වඩාත් හොඳට ඒකාබද්ධ කොට ගැනීමේ අවශ්‍යතාව මෑතකදී හටගත් සිද්ධිවලින් තහවුරු විය. එංගලන්තයේ මැන්චෙස්ටර්හි සිදුවූ ප්‍රහාරය, හෘදය සාක්ෂිය සහිත හැමදෙනා තුළම කෝපය දැනවූයේය. අන්තවාදී ක්‍රියා නම් කළ යුතු ආකාරය ගැන වාද විවාද කරමින් අපි දිගු කලක් ගත කළෙමු. එහෙත් අන්තවාදී ක්‍රියා මුලිනුපුටා ලීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ගැන අප එතරම් දිගට කථා කළේ නැත.


ජෝන් කෙරී
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හිටපු රාජ්‍ය ලේකම්

 

සිඟිති දරු පෙළ සංගීතයෙන් සැනසෙන මොහොතක කඩාවැදුණු ත්‍රස්ත රකුසෙකුගේ බෝම්බ පහරින් ඒ අහිංසක ජීවිත බිඳීයෑමේ තියුණු වේදනාවෙන් ලෝකයා කඳුළු හෙලූහ. ඒ කඳුලැලි වියළෙන්නටත් පෙර ත්‍රස්ත අධමයෝ ලන්ඩන් නගරයට පහර දුන්හ.
ජූනි තුන්වන සෙනසුරාදා රෑ දහයට විනෝදකාමී ජනී ජනයා ලන්ඩන් බි්‍රජ් පෙදෙසකින්, ඒ අසළ බොරෝ මාකට් වෙළෙඳ සංකීර්ණයෙහිත් නිදැල්ලේ සැරිසැරූහ. සෙනසුරාදා රාත්‍රි යාමයේ එසේ නෑදෑ සගයන් හා ඇවිදිමින් කමින් බොමින් තුටු පහටුවීම, නාගරික සංස්කෘතියේ අංගයකි. බි්‍රතාන්‍ය ජාතිකයන් මෙන්ම වෙන අන් රටවල අයත් ඒ විනෝදචාරීහු අතර වූහ.


හදිසියේම ඒ ජනතාව යටකොට ගෙන යන අදහසින් වෑන් රියක් ශීඝ්‍ර වේගයෙන් එහි ආයේය. ඉන් එළියට පැනගත් ත්‍රස්තවාදීන් තිදෙනෙක් මුණගැසෙන අයට පහර දෙන්නට වූහ.


මේ ත්‍රස්තවාදීන් තිදෙනා අතුරින් දෙදෙනකු නම් බුරාම් බට් සහ රෂීඞ් රාඩු ආන්ය.


(රහස්‍ය හේතු නිසා පොලිස් නිලධාරිහු තෙවන ත්‍රස්තවාදියාගේ නම මෙතෙක් අනාවරණය නොකළහ).


මේ නපුරෝ සිය රියෙන් පැනවුත් ඉවක් බවක් නැතිව පිහිපහර එල්ල කළහ. ඔවුන්ගේ අමානුෂික ප්‍රහාරයෙන් සිවු දෙනෙක් මරණයට පත්වූහ. තුවාල ලද අයගෙන් තිස් අටදෙනෙක් තාමත් රෝහල්ගතව සිටිති.


බි්‍රතාන්‍යයට මේ ප්‍රහාරය එල්ල වුණේ ජුනි තුන්වැනිදා රාත්‍රී 10.08ය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් ජූනි හතරවන ඉරිදා අලුයම 2.39ටයි.
බි්‍රතාන්‍යයට විඳගන්නට සිදුවූ මේ ප්‍රහාරය හුදෙක් ඒ රාජ්‍යයට පමණක් එල්ල වූයේ නොවේ. මේ ත්‍රස්තවාදී රකුසෝ, තරමක් මෑතක සිට “නාගරික ත්‍රස්ත ප්‍රහාර” න්‍යායකට ඇබ්බැහි වී සිටිති.


මේ මරුවන් දැන් බොහෝ විට කරන්නේ එක්රැස්ව සිටින ජන කණ්ඩායමක් යටකොට ගෙන තලාගෙන රිය පැදවීමයි.


2016 ජුලි 14 වනදා ප්‍රංශයේ ජාතික නිවාඩු දිනෙක නීස් නගරයේ එකට එක්වී සිටි බාල මහලු කණ්ඩායමක් යටකොට ගෙන ත්‍රස්තවාදීහු රියක් පැදවූහ. අසූ හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.


2017 මාර්තු 22 වනදා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නුදුරුව සිටි පිරිසක් යට කොටගෙන සිය රිය පැදවූ ත්‍රස්තයෙක් පොලිසිය විසින් ඝාතනය කරනු ලැබුවේය.


2016 දෙසැම්බර් 19 වනදා පෝලන්ත රියැදුරකුගේ ට්‍රක් රථය කොල්ල කා ගෙන ජන කණ්ඩායමක් යට කරමින් එය පැදවූ ත්‍රස්තයක් දොළොස් දෙනකු ඝාතනය කළේය.


2017 අප්‍රේල් හතරවනදා ස්වීඩන්හි ස්ටොක්හෝම් නගරයේ ත්‍රස්තයෙක් සාප්පු සවාරි ගිය කණ්ඩායමක් රියකට යට කොට මරාලූවේය. 11 වන වියේ දැරියක්ද ඒ දිවි අහිමි වූ අය අතර වූවාය.


මේ ත්‍රස්ත ප්‍රහාරය ජූනි මස තෙවන දා රෑ බි්‍රතාන්‍යයට එල්ල වූයේ බි්‍රතාන්‍යය රජය, බැරෑරුම් ප්‍රශ්න රැසකට මුහුණ පා සිටියදීය.
අගමැතිනි තෙරේසා මේ මහත්මිය පාර්ලිමේන්තුව විසුරුවා හැර ජුනි මස අටවනදා ක්ෂණික මහජන ඡන්ද විමසීමක් පවත්වන්නට තීරණය කළාය.


මෙයට ප්‍රධාන හේතුව බි්‍රතාන්‍ය රජය යුරෝපා සංවිධානයෙන් වෙන්වීමේදී (බ්‍රෙක්සිට්) පැන නඟින අර්බුදවලට වඩාත් ක්‍රමවත්ව මුහුණපාන පිණිස පාර්ලිමේන්තුවේ ස්ව පක්ෂය තව තවත් තරකොට ගැනීම එතුමියට රාජ්‍ය මට්ටමෙන් අවශ්‍යවීමයි.


මෙය සාමාන්‍ය මහජන ඡන්ද වීමසීමක් නොවෙන්නේ ඒ නිසාය. “ෆයිනැන්ෂල් ටයිම්ස්” නම් ප්‍රකාශනයේ විග්‍රහයකට අනුව යුරෝපා සංවිධානයෙන් ඉවත් වූ පසුව බි්‍රතාන්‍ය විසින් ගිවිසුම් 759කට එළඹිය යුතුවේ. වෙළහෙළඳාම් කටයුතු අයබදු ආදිය පිළිබඳව රටවල් 168ක් හා සමගත් සම්මුති සකස් කොට ගත යුතු වන්නේය.


මෙවැනි පසුබිමෙක කොන්සර්වැටිව් පක්ෂ නායිකා හැට හැවිරිදි, තෙරේසා මේ අගමැතිනියට ජූනි අට ඡන්දය, ප්‍රබල අභියෝගයකි. ආසන 650කින් සමන්විත පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබානොගෙන මෙවැනි විටෙක “ඉතිහාසයේ” නව නැම්මකට මූහුණදෙන්නට බැරිය.


බි්‍රතාන්‍යයේ දේශපාලන නායක නායිකාවෝ ගිය සෙනසුරාදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සිය ඡන්ද ව්‍යාපාර දින කීපයකට නවත්වාලූහ.


ඡන්දයට පෙර යළිත් ඒ ව්‍යාපාරය ක්‍රියාත්මක කෙරිණි.


මේ අගමැතිනියගේ ප්‍රධාන ප්‍රතිවාදියා විරුද්ධ පක්ෂ නායක කම්කරු පක්ෂයේ අධිපති ජෙරමි කෝබින් මහතායි. ත්‍රස්ත ප්‍රහාරයේ දින කීපය තුළ ඒ කම්කරු පක්ෂ නායකයා අගමැතිනියගේ පාලනයේ අඩුපාඩු ගැන දැඩි විවේචනයක යෙදුණේය.


මේ දෝෂ දර්ශන ජුනි අටවනදා ඡන්දදායකයන් කෙරේ බලපාවිද?


ජුනි තුන්වැනිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර තෙරේසා මේ අගමැතිනිය ඡන්ද සීයට විස්සකින් පමණ ඉදිරියෙන් සිටියාය.


ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වුවද තෙරේසා මේ මැතිනියට විරුද්ධ පක්ෂයට වඩා ඉදිරියෙන් සිටිය හැකි වේ යැයි විචාරකයෝ අදහති.
පිට පිටම ත්‍රස්තප්‍රහාර තුනකට මූණපාමින් එතුමිය විසින් ප්‍රදර්ශනය කරන ලද අප්‍රතිහත ධෛර්යය, බි්‍රතාන්‍ය ජාතිකයෝ අගය කළහ.
“දැන් බලාසිටියා ඇති. අපි මින් පසුව අභීතව මේ අන්තගාමීන්ට මූණ පාමුයි” අගමැතිනිය ජනතාව අමතා පැවැසුවාය.


ජර්මන් නායිකා අන්ජෙලා මර්කල් මහත්මියත් නව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රින් මහතාත්, තමන්ගේ අචල සහයෝගය අගමැතිනි තෙරේසා මහත්මියට සපයන බව ක්ෂණිකවම පැවසූහ.


ඡන්ද දිනය ආශ්‍රිතව ත්‍රස්තයෝ යළිත් නාශක ක්‍රියාවලට පෙළඹේදැයි ඇතැමුන් තුළ කුකුසක් පැවැත්තේය.


එහෙත් එවැනි සැකයකට ඉඩක් නැත්තේ බි්‍රතාන්‍ය පොලිස් නිලධාරීන් විසින් දක්වන ලද අති ප්‍රශස්ත ක්‍රියාත්මකත්වයයි. ඒ ගුණය පසුගිය දිනවල ලොව පුරා ප්‍රදර්ශනය වූයේය.


ආපදාවකදී බි්‍රතාන්‍ය ජනතාව විසින් දක්වනු ලබන සාමුහික සංවේදිතාවයට ප්‍රබල නිදර්ශනයක් සැපයුයේ මැන්චෙස්ටර් ළමා විරෝධී ප්‍රහාරයෙන් හටගත් මහා සන්තාපය සිහි කරන්නට ජනතාව එක්වූ ආකාරයෙනි.


දිවියෙන් සමුගත් මැන්චෙස්ටර් පිරිස වෙනුවෙන් පැවැත්වුණු සංගීතමය අනුස්මරණයට 50,000කටත් අධික සංඛ්‍යාවක් ශෝකීව සහභාගි වූහ.


මැන්චෙස්ටර්හි එදා පැවැත්වුණු සංගීත ප්‍රසංගයේ කේන්ද්‍රිය බලවේගය වූ ආරියානා ග්‍රාන්ඬේ තුරුණු ජනකාන්ත ගායිකාවද ඒ අනුස්මරණ සංගීත සංදර්ශනයට කැපවීමෙන් එකතු වූවාය.


ලන්ඩන් නගරාධිපති සුඩීක් ඛාන් මහතා නගරවාසීන් හා සමග එක්ව නිහඬ ශෝක ප්‍රකාශයක යෙදුණේය. ජූනි මස හය වනදා රට පුරා නිහඬ මොහොතක් ප්‍රකාශයට පත්විය.


මේ ගිය සෙනසුරාදා සිදුවූ අමානුෂික සිද්ධි අතර ඉතාම සංවේදී මනුෂ්‍ය පක්ෂයකුත් තිබුණේය. සෙනසුරාදා රාත්‍රියේදී මේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවන විට එක් අයෙක් අවන්හලක ආහාර ගනිමින් සිටියේය. නීතියේ අණින් ඔහුට වහාම ආරක්ෂක ස්ථානයකට යන්නට සිදුවුණේය.


පසුවදා ඒ තැනැත්තා නැවත ඒ අවන්හලට අවුත් ත්‍රස්ත අවුල මැද්දේ ගෙවන්නට බැරිවූ කෑම බිල ගෙවා ගියේය.


මේ ත්‍රස්ත සිද්ධියේදී අහිංසක කැනේඩියානු කාන්තාවක්ද අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වූවාය. ඇයගේ නෑදෑ හිතවත්තු ඒ කාන්තාවගේ අසලවැසි නිවාසවල අයට විවිධ දේ පිරිනැමූහ.


මේ ගැන අසල්වැසියන් විස්මයට පත්වූ විට ඔවුහු මෙසේ කීහ. “මේවා ඔබට දෙන්නැයි නියම කළේ ඒ ඝාතනයට ලක්වූ දැරියයි.”
මේ අමානුෂික ත්‍රස්ත ඝාතනවලින් මිනිස් සිතේ හටගන්නා සංවේදීභාවය මේ උවදුර මිහිතලයෙන් දුරුකරනු පිණිස භාවිත කළ හැකි මහා බලවේගයකි.


මෙය තවත් ස්ථාවර ලෙස පැහැදිලි වන්නේ මැන්චෙස්ටර් ඝාතනය අනුස්මරණය කරනු පිණිස පැවැති දැවැන්ත සංගීත ප්‍රසංගයේ නාමයෙනි. එය නම් කෙරුණේ “වන්ලව් මැන්චෙස්ටර්” වශයෙන්. “මැන්චෙස්ටර් ඒකාබද්ධ ආදරය”.


මෙසේ සාමුහිකව ත්‍රස්ත රකුසන්ට මූණපෑම නිසා ඒ නපුරන්ට ලක්වන අය තුළ සාමුහික ප්‍රේමයක් හටගනී. එය ස්වාභාවිකය.


එහෙත් ජුනි මස අටවනදා බි්‍රතාන්‍යයේ පැවැත්වෙන ඓතිහාසික ඡන්ද වීමසීමට බාධා ඇතිවිය හැකිද?
මෙය නොවිමසා සිටිය නොහෙන ප්‍රශ්නයකි.


මාස තුනක් ඇතුළතදී ත්‍රස්තවාදීහු බි්‍රතාන්‍යයට තෙවරක් පහරදුන්හ. එවැනි රකුසු මනසැති කණ්ඩායමක් මේ ඡන්ද විමසීම් අවස්ථාවටත් සිය නපුරුකම යොමු කරතිද?


මෙයට දියහැකි ඉතාම සහනදායි පිළිතුරක් වෙයි.


විපතට පත්වීම නිසා බි්‍රතාන්‍ය ඡන්දදායකයෝ ඒකාබද්ධව සාමකාමී ලෙස මේ අත්‍යන්තයෙන්ම වැදගත් ඡන්දය දෙන්නට සැදී පැහැදී සිටිති.


එසේම රාජ්‍යය විසින් නිල වශයෙන් තාමත් මේ අවස්ථාව නම්කොට තිබෙන්නේ අති “අන්තරායදායි” (සිවියර්) මොහොතක් හැටියටයි. ඒ නිසා නීතියේ අවධානය බොහෝ සේ තියුණුය.


මේ සියල්ලම හේතුකොට ගෙන මේ මුළු ඡන්ද ව්‍යාපාරයේම ප්‍රධාන සාධකය ආරක්ෂාවයි.


සෘජු ප්‍රශ්නයකට මූණ පාමු.


කවුරු ජයගනීද?


මේ මොහොතේ පවත්නා මතයට අනුව සුළු සංඛ්‍යාවකින් හෝ තෙරේසා මේ මහත්මියට පාර්ලිමේන්තුව හිමිවන්නට බොහෝ සේ ඉඩ ඇත්තේය.


සභාග රජයකට යායුතු වී නම් විපක්ෂ නායක කම්කරු පක්ෂාධිපති ජෙරමි කෝබින් කෙරේ යොමු වන්නට අගමැතිනියට හැකිකමක් තිබේද?


බලාපොරොත්තු නොවූ ආකාරයෙකින් ලිබරල් පක්ෂය පෙරට ආවොත් සිදුවිය හැක්කේ කුමක්ද?


යුරෝපා සංවිධානයෙන් වෙන්වී ස්වීය පාලනය සහිතව බි්‍රතාන්‍ය නැඟී සිටින විට ඉන් අපගේ මේ ශ්‍රී ලංකා දේශයටද නව යුගයක් උදාවෙයි.


යුරෝපා සංවිධානයෙන් බැහැරව නව වාණිජ, වෙළහෙළඳාම් ගිවිසුම් සකස් කොට ගන්නා විට එංගලන්තයට අපේ මේ ශ්‍රී ලංකාවද විශේෂයෙන් පෙනෙනු ඇත.


ඒ දර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් බි්‍රතාන්‍ය - ශ්‍රී ලංකා වාණිජ සංස්කෘතික හා කාර්මික සබඳතා පිළිබඳ නව යුගයක් උදා වන්නට බොහෝ සේ ඉඩ ඇත්තේය.


අපි තව දින කීපයකින් ඒ අලුත් යුගය පිළිබඳ මැදහත් විචාරයක යෙදෙන්නට සැරසෙමු.


 

 

ත්‍රිචක්‍ර රථාචාරවරුන්ගේ දර්ශනය

මේ ගැඹුරු වචනවලින් මා ගෙනහැර දැක්වූයේ සරළ කරුණකි. එසේ තරමක් ඉහළ බසින් එය සඳහන් කළේ එහි ආගත චරිතවලට තරමක ප්‍රශංසාවක් ඉදිරිපත් කරනු පිණිසයි.


මා මෙහි ලියන්නේ ත්‍රිරෝද රියැදුරන් ඉඳහිට සිය වාහනවල ලියන ගැඹුරු අදහස් ගැනයි. කලක සිට මම ඒ “ත්‍රිරෝද ධර්මය” ගැන සිත යොමු කරන්නෙමි. 


අලුතෙන් ගත් ත්‍රිරෝද කිහිපයක පිටුපස මා දුටු පාඨයක් වේ. “අනේ හප්පන්න එපා. නැන්දාගෙන් ගත් සල්ලි.”


මෙසේ සෙවීමේ යෙදෙන මට මගේ බුද්ධිමත් මිතුරෙක් කදිම ත්‍රිරෝද රිය පාඨයක් ගෙනැවිත් දුන්නේය. ඒ හිතවතා විද්‍යුත් මාධ්‍ය ආයතනයක පර්යේෂණ නිලධාරියෙකි. ඔහුට ලැබුණු ත්‍රිරෝද ධර්මය මෙයයි. “නිදන්නේ පැලේ නම්, නාන්නේ ඇලේ නම්, අපට මොකටද රුවල් නැව්” හොඳ දැකුමකි. බොහෝදෙනා “අම්මා බුදුවේවා, තාත්තා බුදුවේවා” ආදි දේත් ලියති. යන එනවිට මේ ත්‍රිරෝද ධර්ම කෙරේත් සිත් යොමු කරන්න.


ලොරියක ඉදිරිපස ලියා තිබුණු දෙයක්ද මම වරක් දුටුවෙමි. එහි ලියා තිබුණේ “මා නිවත්ථ අභික්ඛම” (නොනවත්වා ඉදිරියට යන්න).
මා දකින විට ඒ ලොරිය තිබුණේ කඩයක් කඩාගෙන ඉදිරියටම ගොස් නැවතී තිබෙන ආකාරයයි.


 

අරුන්දතී රෝයිගේ අලුත්ම කෘතිය

අපේ අසල්වැසි ඉන්දියාවේ නිර්මාණශීලී ලේඛක ලේඛිකා පරපුරෙන් පෘථුල කීර්තියට පත්ව සිටින අරුන්දතී රෝයි කාන්තාව විසිවසකට පසුව ප්‍රථම වරට අලුත් ප්‍රබන්ධ කතාවක් එළි දක්වන්නීය.


එතුමිය ක්ෂණයකින්ම ජගත් කීර්තියට පාත්‍ර වුයේ 1997 ඇයගේ කුළුඳුල් නවකතාව නිසාය. “ගෝඞ් ඔෆ් ස්මෝල් තින්ග්ස්” නම් ඒ කෘතියට “මෑන් බුකර් ත්‍යාගය” නම් ඉතා ඉහළ තිළිණයක් පිරිනැමුණේය.


එය නවීන යුගයේ සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණයක් බවට පත්වී යොවුන් පාඨක ලෝකයේ විශේෂ ආදර භක්තිය හිමි වූයේය.
ඒ මුල් නවකතාව නිවුන් දරු යුවළකගේ ඛේදවාචකය තේමා කොට ගත්තකි. එහෙත් ඇයගේ අලුත්ම ප්‍රබන්ධ කතාව ඊටත් වඩා පෘථුල මානව අර්බුද සම්භාරයක් වටා විරචිත වූයේ වේ.


එහි කතාව අඩ සියවසක් ඔස්සේ විහිදෙන සිද්ධි මාලාවක් ආශ්‍රිතව තැනෙන්නේය. එහි චරිත සංඛ්‍යාවද පෘථුලය.


මෙය මානව සන්තානයේ ගැඹුරු තැන්වලට විහිදෙන දර්ශනයක් සහිතය.


මුල් නවකතාවේ නම “කුඩා දේ පිළිබඳ දෙවියෝ” නම් වේ.


වර්තමාන ග්‍රන්ථයේ නම “මිනිස්ටි්‍ර ඔෆ් අට්මෝස්ට් හැපිනස්”


(අත්‍යන්ත සුවය විඳදරා ගැනීම) නම් වේ.


මේ පොත ගැන මා සඳහන් කරන්නට අදහස් කළේ මෙවැනි කෘති ඉතාම පහසුවෙන් (තරුණ තරුණියන්ට විශේෂයෙන්ම) ආභාසය සපයන මාර්ගෝපදේශක නිර්මාණ වන හෙයිනි. එය මානව ස්වභාවයේ අභ්‍යන්තරය පිළිබඳ දර්ශන සහිත විශිෂ්ට ගද්‍ය ශෛලියෙන් අලංකෘත කෘතියක් වශයෙන් විචාරක ලෝකය විසින් අගය කෙරේ. හැකි නම් මෙය සොයාගෙන යන්න.


RECOMMEND POSTS