කොරෝනාට එරෙහි හොඳම එන්නත



රටවල් 130 ක් තවමත්, කොවිඩ් 19 වයිරසය ආසාදනය වළක්වන එන්නත් කිසිවක් දැක නැති අවස්ථාවක ලංකාවේ අපට ඉන්දියාවේ සේරම් ආයතනයේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත ලැබෙයි. නිසි ක්‍රියාපිළිවෙළ යටතේ පමණක් නොව, 'හොර පාරෙන්' ද එන්නත් ලබා ගැනීමට ඇත්තේ ලොකු උනන්දුවකි. එන්නත් එසේත් නැතිනම් වැක්සීන් ගැන කියද්දී, පැතජන් (රෝගකාරක බීජය), ඇන්ටජන් (ප්‍රතිදේහ ජනක) සහ ඇන්ටිබොඩි (ප්‍රතිදේහ) ගැන පැහැදිලි කළ යුතුමය.

පැතජන් යනු විෂබීජය. අප ලෙඩ කරන රෝගකාරක මොවුන්ය. අපේ සතුරන් වන්නේ මොවුන්ය. පැතජන් වර්ග 3 කි. ඒවා වයිරස විය හැකිය. බැක්ටීරියා විය හැකිය. දිලීර විය හැකිය. ඇන්ටජන් යනු පැතජනයක කොටසකි. අපගේ සිරුරේ ඇන්ටිබොඩි නිෂ්පාදනය සිදුවන්නේ, ඇන්ටජන් නිසාය. සතුරන්ට එරෙහිව සටන් කරන හමුදාව වන්නේ ඇන්ටිබොඩි ය. ඇන්ටිබොඩි සිරුරේ එසේත් නැතිනම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඉදිරිපෙළ සටන්කරුවන් ය. පැතජන්වලට එරෙහිව සටන් කරමින් ඔවුන් අඩපණ කරන්නේ මෙම කණ්ඩායමය.

කොරෝනා එන්නත් ගැන කතා කළොත්, එන්නත් නිපදවීම සිදුවන්නේ, කොවිඩ් 19 කොරෝනා වයිරසයේ (පැතජනය) ඉතාමත් පුංචි, දුර්වල කරන ලද, හානියක් කළ නොහැකි ආකාරයේ කොටසක් ඇසුරිනි. මෙම කොටස ඇන්ටජන් එසේත් නැතිනම් ප්‍රතිදේහ ජනකයයි. එන්නත සිරුරට ඇතුළත් කරද්දී, කොරෝනා වයිරස විෂබිජ සිරුරට ඇතුළු කරන්නේ නැත. එන්නතින් සිදුවන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පණ ගැන්වීමය. ඇන්ටිබොඩි පුහුණු කිරීමය. ඉදිරියේ දී යම් දිනෙක කොරෝනා වයිරස විෂබීජ සිරුරට ඇතුළු වුවහොත්, සූදානම් කළ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති බැවින්, වයිරසය නිකම්ම අඩපණ වෙන්නේ ඔබ නොදැනුවත්වමය. ඒ අනුව, කොවිඩ් 19 වයිරස වසංගතයෙන් මිදීමට නම්, අප එන්නත ලබා ගැනීම කළ යුතුය.

කොවිඩ් 19 වයිරසය ආසාදනය වැළැක්වීමට එන්නත් කිහිපයක් මේ වනවිට කරළියට පැමිණ තිබේ. රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නත, ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත සහ 'මොඩර්නා' එන්නත, චීනයේ 'සිනොෆාම්' සහ 'සිනොවැක්' එන්නත මෙන්ම අපට හුරුපුරුදු වුණු 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්', සියයට සියයක් ඉන්දියාවේ නිෂ්පාදිත 'භාරත් බයෝටෙක්' (ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය පළමු වැනිදා ලබා ගත්තේ මෙම එන්නතය.) යන එන්නත් ඒ අතරින් කැපී පෙනෙයි. මෙම එන්නත් නිපදවා ඇත්තේ විවිධාකාරයේ ක්‍රමවේදවලය. කෙසේ නමුත්, මෙම එන්නත්වලට ඇති පොදු දෙයක් ඇත. ඒ, මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකකින් යුක්තය. එන්නත දෙපාරක් විදිය යුතුය. කොරෝනාට එරෙහිව ප්‍රතිශක්තිය දිගටම පවතින්නේ එවිටය.

දැන් මෙම එන්නත් සියල්ල පරයන, තවත් එන්නතක් කරළියට පැමිණ ඇති අතර, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත මෙන් මිලෙන් අඩුය. සාමාන්‍ය නිවසේ ශිතකරණයේ පවා ගබඩා කර තැබිය හැකිය. වෙනසකට ඇත්තේ මෙම එන්නත විකෘති කොරෝනා ප්‍රභේදවලට එරෙහිව සාර්ථකව ක්‍රියා කිරීම සහ එන්නත ලබා දිය යුතු වන්නේ එක් මාත්‍රාවක් පමණක් වීමය. ඇමෙරිකාවේ ඖෂධ සඳහා අනුමැතිය ලබා දෙන ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ නිර්දේශය නම්, මෙතෙක් නිපදවා ඇති හොඳම එන්නත මෙය බවය. මෙම එන්නත 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එසේත් නැතිනම් 'ජැන්සන්' එන්නතය.

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ යනු ඇමෙරිකාවේ නිව්ජර්සි හි පිහිටි ඖෂධ නිෂ්පාදන, පර්යේෂණ ආයතනයකි. මෙය ලෝ සුපතල ‘ජැන්සන්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ හවුල්කරුවෙකි. ‘ජැන්සන්’ ඖෂධ නිෂ්පාදන සමාගම ඇත්තේ බ්‍රීස් නුවරය.‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතට ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසු පසුගිය 3 වැනිදා සිට එය ඇමෙරිකානුවන්ට ලබා දීම ආරම්භ විය. එන්නත පළමුවෙන් ලබා දීම සිදුවූයේ ඔහියෝ ජනපදයේ කොලම්බස් නුවර වැසියන්ටය. මේ වනවිටත් ඇමෙරිකානුවන්ට එන්නත් දෙකක් හිමිවෙයි. ඒ, ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නතය. ‘ෆයිසර්’ සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම සමඟ එක් වෙමිනි. ‘මොඩර්නා’ එන්නත එම ඖෂධ නිෂ්පාදන සමාගමේ තනි නිෂ්පාදයකි. ඒ අනුව, ඇමෙරිකානුවන්ට ලැබෙන තෙවැනි ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතය.

ඇමෙරිකාවෙන් පිට ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ලබා දීම සිදුවන්නේ දකුණු අප්‍රිකාව තුළය. දකුණු අප්‍රිකා රජය පළමුවෙන් එරට වැසියන්ට ලබා දීම ආරම්භ කළේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතය. කෙසේ නමුත්, දකුණු අප්‍රිකාව තුළින් හිස එසවූ ‘කොරෝනා විකෘති ප්‍රභේදය’ මර්දනය කිරීමට ඇස්ට්‍රාසෙනකා එන්නත් අපොසත් විය. ඒ අනුව, දකුණු අප්‍රිකා සෞඛ්‍ය අංශ කළ නිර්දේශයට අනුව, ඔවුන් ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ඇණවුම් කර ජනතාවට ලබා දීම සිදු කරයි.

එලැඹෙන මාර්තු මස අවසන් වීමට පෙර, ඇමෙරිකාවේ වැඩිහිටියන් සියලු දෙනාට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන් කිරීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ ධවල මන්දිරයේ පැවැත්වුණු මාධ්‍ය හමුවක් අතරතුරේදීය.

‘ජොන්සන් ඇන්ජ් ජොන්සන්’ එන්නත, මහා පරිමාණයෙන් නිපදවා ඇමෙරිකානුවන්ට ලබා දීමට ජනාධිපති බයිඩන්, ‘මර්ක් ඇන්ඩ් කෝ’ ඖෂධ සමාගම හවුල් කර බල ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පැවැසීය. මේ අතර, ඇමෙරිකානුවන් වෙනුවෙන් ‘ෆයසර්’ සහ ‘මොඩර්නා’ සමාගම් එන්නත් මිලියන 300 ක් නිපදවීමට කටයුතු ආරම්භ කර ඇති බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.

සටහන - ලුසිත ජයමාන්න
ඡායාරූප - ලහිරු හර්ෂණ

RECOMMEND POSTS