ඇමෙරිකාවේ දෙවැනි බලවතා




 “දේශපාලනය යැයි කියන්නේ කළ හැකි දේ ඉටුකිරීමේ කලාවයි. එසේ ඉටුකළ හැකි දේ සොයාගත හැක්කේ මිනිසුන් දැන හඳුනා ගැනීම මගිනුත්, අන්‍යොන්‍ය සබඳතා පැවැත්වීම මගිනුත්ය.”

 


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ උප ජනාධිපති පදවියට යෝජිතව සිටින මයික් පෙන්ස්.


 වසරක උදාවේදී බොහෝ දේ අලුත් වෙයි.


 2017 ජනවාරි මාසය උදා වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නව මහලේකම්වරයකු සපයමිනි.


 ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හතලිස් පස්වන ජනාධිපතිවරයා හැටියට තේරී සිටින ඩොනල්ඞ් ට්‍රම්ප්, ඒ පදවියට නිල වශයෙන් පත්වන්නේ ජනවාරි විසිවැනිදා දිවුරුම් දීමෙනි.


 ඒ දිවුරුම් දීමට සමගාමීව, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට තවත් දෙවන බලවතෙක් ලැබෙන්නේය. ඒ බලවතා නම් ජනවාරි විසිවෙනදා ඇමෙරිකාවේ උප ජනාධිපති පදවියට නිල වශයෙන් පත්කෙරෙන මයික් පෙන්ස් මහතායි.


ජනාධිපති පදවියට කෙනෙකු පත්කොට ගැනීම සඳහා කෙරෙන දැවැන්ත ව්‍යාපාරවලින් ආලෝලනය වන සමාජයට දේශයේ උප ජනාධිපති පදවිය හෝ අතක මතක නැතිවේ.


 තවත් කරුණක් වෙයි. උප ජනාධිපති පදවිය සඳහා විශේෂ ඡන්ද විමසීමක් නොමැත. පක්ෂයක් විසින් සම්මත කෙරෙන, ඒ පක්ෂයේ ජනාධිපති පදවි අපේක්ෂකයා තමන් කැමැති අයෙකු සිය උප ජනාධිපති වශයෙන් ඉතා උත්සව සහිතව ප්‍රකාශ කරන්නේය.
 මෙවර රිපබ්ලිකන් පක්ෂයේ ජාතික මහා සම්මේලනයේදී ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරාගනු ලැබූ ඩොනල්ඞ් ට්‍රම්ප් සිය උප ජනාධිපතිවරයා හැටියට නම් කළේ මයික් පෙන්ස් නම් පාලන තන්ත්‍රවේදියායි.


ඒ යෝජිත දේශපාලනඥයාගේ සම්පූර්ණ නම මයිකල් රිචඞ් “මයික්” පෙන්ස්. උප ජනාධිපති පදවියෙහි තහවුරුව වැඩ භාරගන්නා තෙක් මයික් පෙන්ස් තාමත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ඉන්ඩියානා ජනපදයේ ආණ්ඩුකාරවරයායි.


 ඔහු උපත ලැබුවේ 1959යේ ජූනි හත්වැනිදායි. ඒ නිසා ඔහුගේ අද වයස 57 යි.


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ උප ජනාධිපති පදවිය විශේෂ ලක්ෂණ කිහිපයක් සහිත තනතුරකි.


 උප ජනාධිපති පදවිය සඳහා මහජන ඡන්ද විමසීමක් නොමැත. ඡන්ද විද්‍යාලයේ (ඉලෙක්ටොරල් කොලේජ්) නම් ආයතනයේ කැමැත්ත හෝ අකැමැත්තත්, උප ජනාධිපති පදවියට කෙනෙකු තෝරා ගැනීම කෙරෙහි බලපාන්නක් නොවේ.


 ඒ පදවියට කෙනෙකු පත් කෙරෙන්නේ හුදෙක්ම සිය ජනාධිපති පදවි අපේක්ෂකයා වශයෙන් දේශපාලන පක්ෂයක් විසින් අනුමත කෙරෙන තැනැත්තාගේ තීරණයට අනුවයි.


 පත්කෙරෙන උප ජනාධිපතිවරයාට විවිධ බලතල වරප්‍රසාද ඇත්තේය. උප ජනාධිපතිවරයා සිය පදවියෙන්ම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ උභය මන්ත්‍රණ සභාවේ ඉහළ මණ්ඩලයේ (එනම් සෙනේට් සභාවේ) සභාපති වන්නේය. එහි ඡන්ද විමසීමකදී සමාන ඡන්ද සංඛ්‍යාවක් නිසා තීරණයට බාධා ඇති වුවහොත් සභාපති වශයෙන් තීරක ඡන්දයක් දීමෙන් අර්බුදය නිරාකරණය කරන්නට ඔහුට බලය ඇත්තේය. (ඇමෙරිකාවේ උභය මන්ත්‍රණ සභාව හැදෙන්නේ ඉහළ මණ්ඩලය වන සෙනෙට් සභාවෙනුත් පහළ මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රණ සභාවෙනුත්ය.) උප ජනාධිපතිවරයාට, බලාපොරොත්තු නොවූ ඇතැම් සිද්ධිවලටත් මූණ පාන්නට සිදුවන්නේය.


 බලයෙහි සිටින ජනාධිපතිවරයාට, පාලනය කරගෙන යා නුහුනු විටෙක, උප ජනාධිපතිවරයා ඉබේම ජනාධිපති පදවිය ලබන්නේය.

1963 දී ජනාධිපති ජෝන් කෙනඩි ඝාතනය කරනු ලැබූ විට. ඔහුගේ උප ජනාධිපතිව සිටි ලින්ඩන් ජොන්සන් ඉබේම ජනාධිපති පදවිය ලද්දේය.


1974 දී ඇමෙරිකාවේ ජනාධිපති පදවියේ සිටි රිචඞ් නික්සන් සිය පදවියෙන් ඉල්ලා අස්වූ විට ඉබේම ඒ පදවිය හිමිවූයේ එවකට උප ජනාධිපතිව සිටි ජෙරල්ඞ් ෆෝර්ඞ් නම් දේශපාලනඥයාටයි.


කවරාකාර අර්බුදයකදී හෝ වේවා ජනාධිපතිවරයාට හෘදයංගම ලෙස කරුණු කියමින් පාලන කටයුතු යහමගට යොමු කරන “පුරෝහිතයා” වන්නේත්, උප ජනාධිපතිවරයාය.


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ මෑත යුගයේදී පහළවූ අත්‍යන්තයෙන්ම අලෝලනය වූ හා ආක්‍රමණශීලි පාලනවේදියකු වශයෙන් චිර ප්‍රසිද්ධ ඩොනල්ඞ් ට්‍රම්ප් මහාත අතිශයින්ම තැන්පත් නිවුණු ගති පැවතුම් සහිත මයික් පෙන්ස් නම් පැසුණු බුද්ධිමත් පාලන තන්ත්‍රවේදියා සිය කිට්ටුම පරිපාලක සහායකයා වශයෙන් තෝරාගෙන ඔහුට උප ජනාධිපති පදවිය පිරිනැමීමේ හේතුව, බොහෝ දෙනාට හරි හැටි පැහැදිලි නැත.


මයික් පෙන්ස් පාලන තන්ත්‍රවේදියා, ජනාධිපති පදවියට තේරී සිටින, ඩොනල්ඞ් ට්‍රම්ප් මෙන් සුපිරි ඉසුරුමත් පසුබිමකින් දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වූවෙක් නොවේ.


 මයික් පෙන්ස් උපත ලැබුවේ ඉන්ඩියානා ජනපදයේ කලම්බස්හිය. පවුලේ හය දෙනෙකි. පියාට පෙට්‍රල් ෂෙඞ් කිහිපයක් අයත්ව තිබිණ.


 ඔහු පැවත එන්නේ සම්ප්‍රදායික කතෝලික පෙළ පතකිනි. ඔහු බී.ඒ. උපාධියත්, නීති විද්‍යා සහතිකත් ලැබුවේය.


 යොවුන්වියේදී මයික් පෙන්ස් ආධුනික දේශපාලනකාමියා, විවිධ පරාජයනට මුණ පෑයේය. එහෙත් ඒ සියල්ල අප්‍රහතිහත ධෛර්යෙන් යුක්තව ඉවසා දරාගෙන සිටියේය.


දෛවය විසින් ඉදිරිපත් කෙරෙන කවර අභියෝගයකින් හෝ නොසැලී මයික් පෙන්ස් හෙමි හෙමින් ඉහළින් ඉහළට ගමන් කළේය.


ජීවිතයේ විවිධ මංපෙත් ඔස්සේ සාර්ථකත්වය සොයා ගිය මයික් පෙන්ස් සන්නිවේදන ක්ෂේත්‍රයටත් අත තැබුවේය. ඔහු ප්‍රාදේශික ගුවන් විදුලි සේවයක, සුළු වැඩසටහන් භාරව කටයුතු කළේය. සුළුවෙන් ආරම්භ කළ “පෙන්ස්” වැඩසටහන ජනකාන්ත ගුවන්විදුලි සංග්‍රහයක් බවට විකාශනය වූයේය.


 අනුක්‍රමයෙන් ඔහුගේ වැඩසටහන්, ප්‍රාදේශික සේවා දහඅටක අනුග්‍රහය ලබන තරමට, ශ්‍රාවක භක්තිය හිමිකොට ගත්හ.


 ඒ සන්නිවේදන ක්‍රියාදාමය ඔස්සේ ඔහු විසින් උපයා ගන්නා ලද ජනප්‍රියතාව පසුකලෙක ඔහුගේ වෘත්තීය දේශපාලන කාර්ය රටාවේ සාර්ථකත්වය සඳහාද හේතුකාරක වූයේය. ඒ එක්කම ඔහු සිය සාමයික භක්තියද අඛණ්ඩව රැකගෙන ගියේය.


 ඇතැමුන් අවඥාශීලිව ඔහු හැඳින්වූයේ අර “පූජාසන සේවයේ සිටි පුංචි එකා” වශයෙනි.


 දෛවය විසින් ඉදිරිපත් කෙරෙන බාධා, අකම්පිතව, අචලව ජයගත් මයික් පෙන්ස්ට දේශපාලන ජීවිතයේ ඉහළ තැන්වල දොරටු විවෘතවන්නට පටන් ගත්තේය.


 ජනාධිපති අපේක්ෂක පදවියෙහි සිටි ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉන්ඩියානා ජනපදයේ ආණ්ඩුකාර මයික් පෙන්ස් කෙරේ සිය අවධානය යොමු කළේ මක් නිසාද?


කොයි ආකාරයෙන් ආලෝලනය වන සන්තානයක් සහිත වුවද ජනාධිපති අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඉතා බොහෝ සේ අවශ්‍යව තිබුණේ කිසිම ආකාරයකින් නොසැලෙන අර්බුදයක අගමුල ඉවසීමෙන් අවබෝධ කොට ගත හැකි වොෂින්ටන් දේශපාලන ලෝකයේ ඉතා අරපරිස්සමෙන් ගැවසෙමින් අභිමතාර්ථය දිනාගත හැකි ස්ථාවර දේශපාලන තන්ත්‍රවේදියෙකි.


 ඒ නිසා විශාල දේ පමණක් නොව ඉතා කුඩා අංශු මාත්‍රය පවා දක්නා පාලන පරිඥානයක් සහිත පනස්හත් හැවිරිදි මයික් පෙන්ස් ආණ්ඩුකාරවරයා සිය උප ජනාධිපති පදවියට පත්කොට ගන්නට  ජනාධිපති ධුරාපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළේය.


 ඇතැම් විචාරකයන් විසින් පැවසෙන පරිදි මෙය දේශපාලන තන්ත්‍රවාදී තීරණයක් මෙන් සූක්ෂම ව්‍යාපාරික තීරණයකුත් වැනිය.


 ප්‍රවීණ, කෘතහස්ත පාලන තන්ත්‍රවේදීන් පවා කීවේ මයික් පෙන්ස්, ජනාධිපති ධුරාපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අත්දැකීම් පසුබිමෙහි පවත්නා ඇතැම් අඩුපාඩු සපුරා ලන්නට අතිශයින්ම උචිත කුසලතා පිරි තන්ත්‍රවේදියා බවයි. ඉන්ඩියානා ජනපදයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන විච් ඩැනියල්ස් මේ අදහස දැරූ බව මාධ්‍යවේදීහු පැවැසූහ.


 තමාට මේ උප ජනාධිපති පදවි වගකීම පැවරුණු වහාම මයික් පෙන්ස් නිසලව එහෙත් අචලව හා දූරදර්ශීව ක්‍රියාත්මක වූයේය. ට්‍රම්ප් දර්ශනයට පටහැණිව ඔහුගේ පක්ෂයෙහිම පැවැති ප්‍රතිවිරෝධි මත බිඳලමින්, ඔහු ස්වපාක්ෂික “ට්‍රම්ප්” ප්‍රතිමල්ලවයන්, හිතමිතුරු සහායකයන් බවට පත් කළේය.


මධ්‍යම පාන්තික පවුලක වැඩුණු යොවුන් වියේ දේශපාලන කෝඩුකාරයකු වශයෙන් වැඩිහිටිවියට පා තැබූ මයික් පෙන්ස් මුහුකුරා ගිය ප්‍රබල පාලන තන්ත්‍රවේදීන්ට විස්මය දැනෙන ආකාරයෙන් සිය සූක්ෂම තන්ත්‍රය භාවිතා කළේය.


 ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් තමාට උප ජනාධිපති පදවිය පිරිනැමූ තැන් පටන්ම, මයික් පෙන්ස් සිය ජනාධිපති අපේක්ෂකයාගේ ආද්‍යාත්මය වන තරමට ඔහුට සමීප වූයේය. ඔහුගේ ප්‍රධාන තන්ත්‍රවේදියා සහ උපාය මාර්ග විද්‍යාඥයාත් බවට පත්වූයේය.


 මයික් පෙන්ස් කොපමණ ඉවසිලිමත් සත් පුරුෂයෙකු වූයේද කිවහොත් ට්‍රම්ප්  යම්කිසි විටෙක ඔහුට ඉවක් බවක් නැතිව දෝෂාරෝපණය කළද ඔහු ඒ සියල්ල ඉවසා දරාගෙන සිටියේය.


 ඔහුගේ ඉවසීමේ ශක්තිය, පාලන තන්ත්‍රවේදී හැමෝටම යහ ආදර්ශයකි.


 අප විසින් මේ උප ජනාධිපතිවරයාගේ ආධ්‍යාත්මික ලක්ෂණ මෙසේ විමසා බැලිය යුතු ප්‍රධාන හේතුවක් වෙයි.


 ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් යම්කිසි අදූරදර්ශී ප්‍රතිපත්ති ප්‍රදේශයකට එළඹෙන්නට තැත් කළත් එවැන්නක් කිරීමෙන් ඔහු වළක්වා ගන්නට ශක්තිය හා ස්ථානය ලද අයෙකු ඔහුගේ හෘදයාංගමයෙකු වීම විවිධ සැක සංකා සහිත ලෝකයටත් සහනයකි.


 බොහෝ විචාරකයන් විසින් ඒකමතිකව පිළිගන්නා කරුණක් තිබේ. මයික් පෙන්ස් කිසිවිටෙක ඉක්මන් සුළුවී වැරදි මඟකට යොමුවන්නෙක් නොවේ.


 මයික් පෙන්ස් තමා ගැන කියූ ප්‍රකාශයක් මෙතැනට අදාළය. යම් යම් දේ ඉබේ සිදු නොවන්නේ යැයි  ඔහු තිරසාර ලෙස විශ්වාස කරන්නේය. ඒ නිසා ඒ ක්‍රියා පාලනය කොටගත හැකිවේ.


 මයික් පෙන්ස්ගේ කියමනක් දෙස බලමු. “වැට ඉන්නක් උඩ ඉන්නා ඉබ්බෙකු  ඔබට පෙනුණේයැයි සිතන්න. එහිදී ඔබට කිසිම කිසි සැකයකින් තොරව වැටහෙන කරුණක් වෙයි. ඒ ඉබ්බා නම් කිසි විදියෙකින්වත් තනියම තමාගේම මාන්සියෙන් ඒ රිට උඩට නැංගේ නෑ.”


මෙය තමාගේ නොසැලෙන ගුණය, තැන්පත් බව මූර්තිමත් කරන්නට මයික් පෙන්ස් කියූ කතාවකි. ෆිලිප් එලියට් නම් ලේඛකයා ඒ කනතාවට සිනාමුසු විවරණයක් එක් කරයි. “මේ හෙමිහිට එහෙත් අඛණ්ඩව ඉදිරියට යන තමාගේ මේ ඉබ්බාට සැලකිය යුතු ආකාරය ට්‍රම්ප්ට අයත් වගකීමකි. එහෙත් අන්තිමේදී ජයග්‍රාහකයා විය හැක්කේ ඉබ්බාමය.” 


ලෝකයාත් ඒ “ඉබ්බාත්” ඉබි හිමියාත්  දෙස බලා සිටී,ඡන්ද පොරොන්දු කලකට පෙර ජර්මන් පාර්ලිමේන්තු විශාරදයෙක් ශ්‍රී ලංකාවට ආයේය. ඔහුගේ දේශනයේ ප්‍රධාන ප්‍රස්තුතයක් වූයේ ඡන්ද පොරොන්දුයි. ඒ විශාරදයා කතාවක් කීවේය. “දෙවිවරු වරක් බැතිමත් පුරුෂයෙකුට වරමක් දුන්හ. ඒ බැතිමතාට දෙවියන් කීවේ මෙයයි. බැති මතාණෙනි, පණපිටින්ම අපායටත්, දිව්‍ය ලෝකයටත් යන්න.

දෙකම පරික්ෂාකොට බලා ඔබ මරණින් පසුව යන්න කැමැති තැන ඉඩකඩ වෙන්කරලා ආපසු මරණින් පසුව ඒ ඉඩකඩ වෙන් කළ තැනට යා හැකියි.”


බැතිමතා පළමුවෙන් දිව්‍ය ලෝකයට ගියේය. සුරපුර රජු හමුවී තමා ආ කාරණය කී විට ඔහුට දිව්‍ය ලෝකයේ පහසුකම් පෙන්නුවේය. සුමිහිරි සංගීත රාවය අවට විහිදුණේය. සුවපහසු ඇඳ පුටු විවේකය සඳහා තිබිණි. නොයෙක් රස ගුණ පිරි අහර වර්ග  තිබිණි.

බැතිමතා සුරපුර රජුට මෙසේ කීයේය. “රජතුමනි මා මරණින් පසු මෙහෙ එන්න කැමැතියි. ඒත් මං අපායටත් ගිහින් එන්න ඕනෑ.”


ඔහු අපායට ගොස් යමරජු හමුවූයේය. සිය අදහස ඔහු යමරජුට කීය. යමරජු, ඒ බැතිමතා කැඳවාගෙන ගොස් අපායේ දර්ශන පෙන්නුවේය. බැතිමතාට ඒ අසිරිය විශ්වාස කළ හැකි නොවීය. ඉතාම කමණීය සංගීත රාවය, අඩ නිරුවත් නිළියන්ගේ නැටුම්, ඉවක් බවක් නැතිව කන බොන දේ සපයන තැන්, ඉතාම රසවත් ආහාර, බැතිමතා අත්‍යන්තයෙන්ම සතුටු වූයේය. ඔහු යමරජු වෙත ගියේය. බැතිමතාණෙනි. මේවා තමා අප මේ ලෝකයේදී දෙන්නට පොරොන්දුවන දේ.” බැතිමතා මෙසේ කීය. “යමරජතුමනි, මං මෙතනට එනවා. ඒත් මං සුරපුරට ගිහින් මා එහි එන්නේ නැතැයි කියලා එන්නම්. බැතිමතා සුරපුරට ඒ බව දන්වා, ආපසු යමරජු වෙත ආයේය. ඔහුට ඇදහිය නොහෙන දර්ශන පෙනුණේය. මරණ හැටි, ලෝදිය පොවන හැටි, ගිනිගොඩවල දාන හැටි, මිනිසුන් කපන කොටන හැටි, ඔහු යමරජුගෙන් මෙසේ විමසුවේය.


 “යමරජතුමනි, මා ඉස්සෙල්ලා මෙහේ ආ විට ඔබ පොරොන්දු වුණු ඒ මහා සම්පත් කෝ?”


යමරජු මෙසේ කීයේය. “මං ඒවා පොරොන්දු වුණේ ඡන්දෙට පෙර. දැන් ඡන්දය ඉවරයි. මේ ඡන්දෙන්  පසු කාලෙ.”


RECOMMEND POSTS