ඕං සාං සූචිගේ මියන්මාර ප්‍රශ්නය



 

කෙනකුට, සිරගෙයි බිත්ති ඇතුළත වුවද, නිදහස්ව සිටිය හැකිය. නිදහස යැයි කියන්නේ ආධ්‍යාත්මික තත්ත්වයකි. වරක්, ඒ ආධ්‍යාත්මික නිදහස ලබාගත් කෙනෙකුට, කිසිවිටෙක සිය නිදහස නැති නොවන්නේය.”
බර්ටෝල්ට් බ්‍රෙඞ්ට් (1898-1956) ජර්මන් ජාතික මහා නාට්‍යවේදී කවියා

 

බෞද්ධ උපාසිකාවක් වශයෙනුත්, නිදහස උදෙසා කැපවන ශ්‍රේෂ්ඨ මානව වීරවරියකු වශයෙනුත් ජගත් කීර්තිධර, ඕං සාං සුචි කාන්තාව, වර්තමාන මියෙන්මාරයේ රාජ්‍ය උපදේශිකාවයි. මේ පදවිය අග්‍රාමාත්‍ය තනතුරට සමානය.


නම ගැන වචනයක් අවශ්‍යයි. ඇයගේ නමේ අග කොටස ඉංගිරිසියෙන් ලියැවෙන්නේ ණශෂ වශයෙනි. එහෙත් එය උච්චාරණය වන්නේ “කී.” වශයෙන් නොව “චී” වශයෙනි. රටේ නම, කලින් “බුරුමය” විය. අද එය මියෙන්මාර් නම් වේ. එහි අරුත “බූමා” ජාතිකයන්ගේ දේශය යන්නයි. මේ දිනවල ජාත්‍යන්තර අවධානය බහුල වශයෙන් ලබමින්, මියෙන්මාරය, එදිනෙදා ප්‍රවෘත්තිවලට පෘථුල වශයෙන් ලක්වන දේශයක්ව පවතී.


මියෙන්මාරයේ බටහිර පෙදෙසෙහි රඛීන් නම් ජනපදයක් වෙයි. මෙහි වෙසෙන ජනකායයෙන් බහුතරයක්, “රෝහින්ග්‍යා” යන නමින් හැඳින්වේ.


ලෝකයේ තියුණු ඇස, මේ ජනපදය හා ජන කණ්ඩායමක් දෙස, ඉතා කුතුහලයෙන් යොමුවූයේ අගෝස්තු විසිපස්වනදා සිටය.


මේ ප්‍රස්තුතය, අද පෙර-අපර දෙදිගටම, අතිශයින් අර්බුදකාරී තේමාවක්ව තිබෙන හෙයින්, අප විසින්, අති ශික්ෂණයෙන් යුතුව මෙහිදී, ඒ කරුණ නිරීක්ෂණය කළ යුතු වේ.


අජටාකාශචාරී පණිවුඩ චන්ද්‍රිකාවනට අගෝස්තු විසිපස්වනදා පළමුවන වර පෙනී ගියේ මේ ජනපදයේ බොහෝ පෙදෙස්වලින් ගිනිදැල් නඟින ආකාරයයි.


මේ දර්ශනය පිළිබඳ අටුවාවක් සපයන, ජාත්‍යන්තර විචාරකයන් කියා සිටියේ, මේ ගිනිදැල් පැන නැංගේ, සංග්‍රාමික පිරිසක් විසින්, රඛීන් ජනපදයේ පිහිටි ජාතික හමුදා පොළවලට පහරදීමට පටන්ගෙන පැය කිහිපයකින් පසුව බවයි.


මේ ඛේදදායී සිද්ධියේ ඉතා දැඩි ලෙස සිත් පාරන අංශය, ජගත් ප්‍රවෘත්තිවල බැල්මට ලක්වූයේ ඉන්පසුවයි.


රඛීන් ජනපදයේ, රෝහින්ග්‍යා ජන කණ්ඩායමට අයත්, මහා ජනකායක්, සරණාගතව, ඒ පෙදෙසින් පලා යන්නට පටන් ගත්හ. ඒ විචාරකයන් විසින් පැවසෙන්නේ, ඔවුන් එසේ, පලායන්නට පටන් ගත්තේ, හමුදාව විසින් කරන ලදැයි සිතෙන ප්‍රතික්‍රියාවලට බියෙන් විය හැකි බවයි.


රෝහින්ග්‍යා කණ්ඩායම් දහස් ගණනින්, ඒ පෙදෙස අත්හැර පිහිටක් සොයා, යන්නට පටන් ගත්හ.


එසේ ගැලවීමක් සොයා යන සරණාගතයන් බහුතරයක්, සහනයක් පතා ගියේ අසල්වැසි බංග්ලාදේශයටයි.


මෙතෙක් බංග්ලාදේශය බලා ගිය රෝහින්ග්‍යා දුක්‍යතයන්ගේ සංඛ්‍යාව හාරලක්ෂ පණස් දහසක් පමණ වේ.


ඔවුන්ට, නවාතැන්, කඳවුරු, පහසුකම් ලබාදෙන්නට බංග්ලාදේශී රාජ්‍යයට, අනිවාර්යයෙන්ම සිදුවන්නේ. සරණාගතයන්ට පිහිටවන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයද නොපමාවම මේ ආපදාව සංසිඳුවන්නට පියවර ගත්තද, බංග්ලාදේශ රාජ්‍යයට, ඒ සරණාගතයන් මහ බරකි. ලෝකය, නොපමාව ඕං සාං සුචි කාන්තාව කෙරේ. යොමුවන්නට පටන් ගත්තේ මෙහිදීය.


හැත්තෑ දෙහැවිරිදි ඕං සාං සුචි කාන්තාව පිළිබඳව, ලෝකයා දන්නේ නිදහස් සටනේත්, මානව භක්ති පූර්වකත්වයේත්, ජගත් සම්මානිත ප්‍රතිබිම්බයක් වශයෙනි.


එතුමිය පැවත එන්නේ බුරුමයේ, ඉතාම උසස් ප්‍රභූ පෙළපතකිනි. එතුමියගේ පියතුමා මහ සෙනෙවි ඕං සාංය. 1940යේ දශකයේදී බුරුමය විසින් නිදහස පතා බි්‍රතාන්‍ය අධිරාජ්‍යයා හා කරගෙන ආ විමුක්ති සටනේ පතාක යෝධයකු වූ ඒ මහ සෙනෙවියා ඝාතනයට ලක්වන විට සුචී, කුඩා දැරියකි. 


සුචීගේ ළමා කාලයේදී සහ යොවුන් වියේදී ඇය, බොහෝ සේ ජීවත්වූයේ විදේශයන්හිය. එතුමිය, ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ, දේශපාලන විෂය හැදෑරුවාය. එක්සත් ජාතින්ගේ සංවිධානයේද රාජකාරියේ යෙදුණාය.


ඇය අභීත, විමුක්ති වීරවරියක වශයෙන් ජන ප්‍රසාදය දිනා ගත්තේ 1988 දී බුරුමයේ පාලනයේ යෙදී සිටි සංග්‍රාමික “ජුන්ටා” වට එරෙහි වීමෙනි.


එසේ, ප්‍රබල රණ පාලකයන්ට විරුද්ධව නැඟී සිට, එතුමිය, එන්එල්ඩී පක්ෂය පිහිටුවා ගත්තාය. (නැෂනල් ලීග් ෆෝ ඩිමොක්‍රාසි-ප්‍රජාතන්ත්‍රය උදෙසා ජාතික ඒකාබද්ධ සංගමය)


විමුක්තිය උදෙසා ඇරැඹූ සටනේ ඛේදදායි ප්‍රතිඵලය වූයේ, අවුරුදු 21ක් ඇතුළත 15 වසක් මුළුල්ලේ නිවාස අඩවියේ සිටින්නට එතුමියට සිදුවීමයි.


ඒ යුද පාලකයෝ ඇයට සහන” කීපයක් දුන්හ.


එකක් නම්, නිවාස අඩස්සියේ සිටින ගමන්, වැට අයිනට ගොස් දේශපාලන කතා හා විමුක්තිවාදි දේශන පවත්වන්නට ඉඩ ලැබීමය.
තවත් සහනයක් විශේෂයෙන් සඳහන් කළ යුතුවේ.


සැදැහැවත් බෞද්ධ උපාසිකාවක් වූ ඕං සාං සුචීට, හැම මාසයකම පසළොස්වකදා පන්සලට ගොස් භික්ෂුන් වහන්සේලාට, සාංඝික දානයක් පිරිනමන්නට, හමුදා පාලකයන්ගෙන්, අවසර ලැබුණේය. 


1990 යේදී එතුමිය, නිවාස අඩස්සියේ සිටියදීම, එතුමිය, මහජන ඡන්දයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ලැබුවාය.


එහෙත්, එතුමියගේ ජයග්‍රහණය පිළිගන්නට එදා සංග්‍රාමික පාලකයෝ සූදානම් නොවූහ.


එතුමියට, රටෙන් නිකුත්ව යන්නටද අවසර නොලැබුණේය. සිය රෝගාතුර සැමියා බලන්නට රටින් බැහැර ගියේ නම්, එතුමියට ආපසු සිය රටට ඒම තහනම් විය.


1991 දී ඇයට නොබෙල් සාම ත්‍යාගය ලැබුණු විටද, එය පිළිගන්නටද එතුමියට යා හැකි නොවීය.


මෙසේ සිය නිදහසට එල්ලවූ විවිධ බාධක මැද්දේ එතුමිය 2010 දී විමුක්තිය ලැබුවාය. එතැන් පටන් එතුමියට දේශයේ විමුක්තිකාමී ප්‍රගතිය උදෙසා සටන් කරන්නට, ජගත් ජනනායකයන්ගෙන් ධෛර්යය හා සහාය ලැබෙන්නට වූයේය.


ජනාධිපති ඔබාමා විසින් එතුමිය හඳුන්වන ලද්දේ “මගේ වීරවරියක්” වශයෙනි. 


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ උභය මන්ත්‍රණ සභාව විසින් එතුමියට රන් පදක්කමක් පිරිනැමූණු විටද, එතුමියට එය පිළිගන්නට යා හැකි නොවීය.


එහෙත්, 2015 දී එතුමියට, ඡන්ද විමසීමකින් පාලන බලය ලැබිනි. ඒ ඡන්ද විමසීම, මියෙන්මාරය විසින් අවුරුදු විසිපහකින් පසුව පවත්වන ලද ප්‍රථම නිදහස් ඡන්ද විමසීම වූයේය. 


එහිදී එතුමියට අගමැති පදවියට සමාන තනතුරක් හිමිවිය.


ඒ සියල්ල එසේ වුවද එක්තරා නීතියක් නිසා එතුමියට, කිසි දිනක මියෙන්මාර් ජනාධිපති පදවිය ලදනොහේ. විදේශීය දරුවන් සහිත කෙනෙකුට ජනාධිපති පදවිය ලද නොහේය යන නීතියක් පවත්නා හෙයිනි.


ඇයගේ දරුවෝ බි්‍රතාන්‍ය ජාතිකයෝයි.


මේ වර්තමාන රෝහින්ග්‍යා සරණාගත අර්බුදය ලෙස අප විසින් මැදහත්ව බැලිය යුතු වන්නේ, ඒ ඉහත දැක්වුණු පසු බිමේ සිටිමිනි.
මේ සරණාගත අර්බුදයේදී, බොහෝ දෙනා ඇයට, දෝෂාරෝපණය කරති. නොබෙල් සාම ත්‍යාගලාභී, දකුණු අප්‍රිකානු ඩෙස්මන්ඞ් ටු ටූ පූජකතුමාද ඕං සාං සුචි මහත්මියට මේ සරණාගත අර්බුදය විසඳෙන්නට ධෛර්ය පතා යාඥා කළේය.


මේ සරණාගත සිද්ධිය පිළිබඳව ඕං සාං සුචි මහත්මියට විවිධ දෝෂාරෝපණ නැඟෙතත්, එතුමිය, මෙහිදී කවර තත්ත්වයකට පත්ව සිටී දැයි යන කරුණ තාමත් නිසි ආකාරයෙන් විමර්ශනයට ලක්වී නොමැත.


එතුමිය මේ ඛේදවාචකය ගැන යම්කිසි ප්‍රබල ප්‍රකාශයක් ඉදිරිපත් නොකිරීම ඇතැමුන්ගේ දැඩි විරෝධයටද හේතුවී ඇත්තේය.


මේ දුක්බර සිද්ධිය නිසා, හටගත්, තවත් දෝමනස්සදායී ප්‍රතිඵලයක් නම්, සිය ජීවිතය මුළුල්ලේම මානව විමුක්තිය උදෙසා, වධ-වේදනා කන්දරාවක් උසුළාගෙන සිටි, ඕං සාං සුචි බෞද්ධ උපාසිකාවගේ නම, තරමකට හෝ කිලිටි විය හැකි මඟක් පෑදී තිබීමයි.


මෙවැනි තත්ත්වයක් හමුවේ ජගත් ප්‍රජාව විසින් අපක්ෂපාතී පරීක්ෂණයක යෙදී රෝහීන්ග්‍යා සරණාගත සිද්ධියේ යථා තත්ත්වය ඇති සැටියේ හෙළිකළ යුතුවේ. 


 

ලෝකයේ පැරැණි පොත්පත් ජයදේවගේ “ගීත ගෝවින්දය”


සංස්කෘත භාෂාවෙන් විරචිත, “ගීතගෝවින්ද” මහාකාව්‍යය, සෙසු සියලු ඉන්දීය කාව්‍ය නිර්මාණවලට වඩා ඉතා උසස් යැයි, විද්වත්තු පවසති. සංස්කෘත භාෂා සාහිත්‍යය පිළිබඳ ජගත් කීර්තිමත් පණ්ඩිතයෙකු වූ “කීත්” ප්‍රාඥයාගේ මතය නම්, ජයදේව මහා කවියා, ඊඛිලස්, සොෆොක්ලීස් හා යුරිපීිඩිස් යන ග්‍රීක සම්භාව්‍ය ලේඛකයන් හා සමතැන් ගන්නෙකු බවයි. දහනව වන සියවසේදී මේ ග්‍රන්ථය ඉංගිරිසියට අනුවාදය කළ සර් එඞ්වින් ආනෝල්ඞ්, ඒ “ගීත ගෝවින්ද” කාව්‍යය, උච්චතම පද්‍ය නිර්මාණයකැයි පැවැසුවේය.


මේ මහා කාව්‍යයෙහි කර්තෘවරයා වන ජයදේව උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1170 වේදීය. හින්දු තපෝවෘතවරු ජයදේවගේ භාර්යාව පද්මාවතීය. 


මේ ප්‍රශස්ත කාව්‍ය ග්‍රන්ථයේ ප්‍රස්තූතය වන්නේ ක්‍රිෂ්ණා සහ රාධා අතර උද්ගතවන දිව්‍යමය ප්‍රේමයයි. ශ්‍රී ක්‍රිෂ්ණා, විෂ්ණු දෙවියන්ගේ දශාවතාරයන් අතුරෙහි එක් අවතාරයකි.


ජයදේව විසින් ක්‍රිෂ්ණා, මූර්තිමත් කෙරෙන්නේ උත්තරීතර ප්‍රේමයේ සනාතනික ප්‍රතිබිම්බය වශයෙනි. දේවත්වය හා සමගම ශෘංගාර / සාලිප්ත ලෞකික ප්‍රේමයද මේ ක්‍රිෂ්ණා මූර්තිගේ චරිතයෙහි අන්තර්ගතවේ.


අත්‍යන්ත ආදරයට හිතැති හුදෙකලා වෘන්දාවන ප්‍රදේශයේ ගෝපාලයෙකු සේ ජීවිතය ආස්වාදය කරන ක්‍රිෂ්ණා, පිරිවරා සිටින්නේ සුන්දර ගෝපිකාවෝයි. ඔවුන් අතුරින් ක්‍රිෂ්ණාගේ හදවත දිනාගත් දිව්‍යමය ප්‍රේමවන්තිය රාධාය.


ගීත ගෝවින්ද කාව්‍යයෙහි පද්‍ය ප්‍රදේශ තුළ ධවනි දෙන ශබ්ද මාධුර්යය, රසිකයා, දේවත්වයට නංවා ලන්නේය.


විරහ වේදනාවෙන් ඔබ්බේ පවත්නා අත්‍යන්ත ආදර සම්ප්‍රයෝගයෙහි තැන්පත් ශෘංගාරාවේගය, වෙන අන් කවියෙකු විසින් නොදක්නා ලද දැයි “ගීත ගෝවින්ද” රසයේ නිමග්නවන්නන්ට දැනෙන්නේය.


ජයදේවගේ “ගීත ගෝවින්දය” පරිච්ඡේද 12 කින් සැදුණේය. එක් එක් පරිච්ඡේදය කොටස් 24 කට බෙදේ. ඒ එක් එක් කොටස “ප්‍රබන්ධ” යැයි නම් කෙරේ.


ගීත ගෝවින්දයෙහි සුවිශේෂී ලක්ෂණය නම් එහි භාෂා ශෛලිය ජන වහරට කිට්ටුවීමයි. මේ රචනා විලාශය නිසා, රසිකයාට, ගීත ගෝවින්දයේ රස උල්පත්වලට වඩාත් සමීප විය හැකිවේ.


ක්‍රිෂ්ණා වෙනතක යොමුවීම නිසා විරහ වේදනාවෙන් පෑරෙන හදින් තැවෙන රාධා ගෝපිකාවට, ඇයගේ පරිවාර කාන්තාව විසින් ක්‍රිෂ්ණාගේ අන් පෙම්වතියන් “හරි” (ක්‍රිෂ්ණ) හා සමග ශෘංගාරාලිංග යුක්ති යෙදෙනාකාරය, වර්ණනා කරමින් රාධාගේ විප්පයෝගයේ අග්නිය දියුණු කෙරේ. මෙයද දිව්‍ය ප්‍රේමයේ නව ප්‍රබෝධයට මං සදන්නේය. මෙවැනි අමරණීය ප්‍රේම කාව්‍යයක්, නිසිසේ සිංහලයට නැඟී ඇද්දැයි දැනගත නොහේ. ජයදේව, හැත්තෑපස් හැවිරිදිව 1245 හේදී අභාවයට පත්විය. 


 

 

ජර්මනියේ ඇන්ජෙලා මර්කල් සිවුවන වරටත් “චාන්සලර්”

ගිය ඉරිදා පැවැත්වූ ඡන්ද විමසීමේදී, ජර්මනියේ චාන්සලර් පදවියට, ඇන්ජෙලා මර්කල්, සිවුවන වරටත් පත්වූවාය.           

      “චාන්සලර්” යන වචනයෙහි අරුත “ජනාධිපති යන්නට සමානය. ජර්මනියේ රාජ්‍ය නායක පදවිය හැඳින්වෙන්නේ “චාන්සලර්” වශයෙනි.


හැටතුන් හැවිරිදි ඇන්ජෙලා මර්කල් මහත්මිය ජගත් විත්ති විචාරකයන් විසින්, බොහෝ විට හඳුන්වනු ලබන්නේ යුරෝපයේ ප්‍රබලතම කාන්තාව වශයෙනි. දොළොස් වසක් පාලනයෙහි සිට, යළිත් සිව් අවුරුදු පාලනයක් සඳහා ජනවරම ලද විට, මේ මොහොත්, සමහරුන් විසින් ඇය නම් කෙරෙන්නේ “නිදහස් ලෝකයේ නායිකාව” වශයෙනි. යුරෝපා සංවිධානයේ ස්ථාවර බව රැක ගනිමින්, ලෝක ප්‍රශ්න නිරාකරණය කිරීමේදීත් සිය, ප්‍රායෝගික පාලන තන්ත්‍රය භාවිත කරන ඇන්ජෙලා මර්කල් නායිකාව පූජකවරයකුගේ දියණියකි. (වර්තමාන බි්‍රතාන්‍ය අගමැතිනියගේ පියාද පූජකවරයෙකි.) 


මෙයට වසර කිහිපයකට පෙර “සරණාගතයන්” පිළිබඳ අර්බුදය, මුළු ලොවටම මහා ගැටලුවක් වූ විට, ඒ ප්‍රශ්නය මානව භක්ති පූර්වකව විසඳන්නට, මුල්වූයේත් එතුමියයි. 


අභීතව ලෝකයට මූණ පාන එතුමියගේ ආදර්ශ පාඨය (ජර්මන් බසින්) මෙසේය. “වීර් ස්කාෆන් ඩස්” (අපට මෙය කළ හැකියි). ලෝකයේ බලවත් කාන්තාවක් වුවද, එතුමිය සිය සැමියාට රෑ කෑම සකස් කරනු පිණිස මාළු, වයින් ආදිය ගන්නට තාමත් කඬේ යන්නීය.

අගමැතිවරයකු පත් කොට ගෙන පාලක මණ්ඩලයක් ප්‍රවීණාකාරයෙන් තනා ගනිමින් එතුමිය සිය රාජකාරි පටන් ගනී. ක්‍රිස්තියානි ප්‍රජතාන්ත්‍රික සංගමය එතුමියගේ පක්ෂයයි. 


 

 

ජපානයේ ක්ෂණික මහජන ඡන්දයක් 

ජපාන අගමැති ෂින්සෝ අබේ, ඔක්තෝබර් මාසයේදී, ජපානයේ පහළ (නියෝජිත) මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරු තෝරනු පිණිස, හදිසි මහජන ඡන්දයක් පවත්වන්නේය. මේ තීරණය ප්‍රකාශ කෙරුණේ, සඳුදායි.


දොළොස් කෝටි හැත්තෑ ලක්ෂයක ජනගහණය සහිත ජපානය පාලනය කරනු ලබන්නේ ඉහළ මන්ත්‍රණ සභාවක්, පහළ මන්ත්‍රණ සභාවක් යන උභය ආයතන මගිනි. අකිහිතෝ අධිරාජයා, දේශයේ අසහාය නායකයායි.


නියෝජිත මන්ත්‍රණ සභාව විසි අටවනදා විසුරුවා හැරෙයි. ජපානය, ස්ථාවර පාලනයක් සහිතව සිටියදී මෙවැනි හදිසි ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ ෂින්සෝ අගමැතිවරයා, වඩාත් තහවුරු පාලන සභාවක සහාය ලබා ගන්නට අදහස් කරන හෙයිනි. ෂින්සෝ අබේ අගමැතිවරයාගේ ලිබරල් ඩිමොක්‍රැටික් පක්ෂයට සහාය සපයන්නට, දැනටම ඡන්ද දායකයන්ගෙන් සීයට 44ක් දෙනා කැමැත්ත දක්වා සිටිති. තෙවරක් ජපාන අගමැති ධුරයෙහි සිටි ෂින්සෝ අබේ මහතා, උතුරු කොරියානු තර්ජන වැනි අභියෝගයනට අති සංවේදීය හැටතුන් හැවිරිදි ෂින්සෝ අබේ මහතා, අචල අධිෂ්ඨානයෙන් යුක්තයි. 


ඔක්තෝබර් මාසයේදී එළඹෙන මහජන ඡන්ද විමසීමෙන් ජය ලද හොත්, ෂින්සෝ අබේ මහතා සිවුවන වරටත් ජපාන අගමැති වේ. නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන තමා, ෂින්සෝ අබේ මහතාට අභියෝග කරන්නට සූදානම් යැයි තෝකියෝ ආණ්ඩුකාර කොයිකේ මහතා පවසන්නේය. 


 

රූමත් ධනවත් තරුණ දියණියට මනාලයෙක්

සුරූපි තරුණ දියණියකගේ දෙමාපියෝ, සිය දෝණියට සුදුසු විවාහයක් කර දීමට බොහෝ උනන්දුවූහ.


පියා, සිය දියණිය ඇමතුවේය. “දියණිය, අප ඔබගේ විවාහ මංගල්‍යය ඉතා ඉහළින්ම පවත්වන්නෙමු. ඔබ කැමැති කවර වෘත්තියක් කරන මනාලයෙකුටද?”


මවත්, මේ කතා-බහට එකතුවූවාය. “ඔව් දුව, අපට කියන්න. ඔබ කැමැති මොනා විදියේ රස්සාවක් කරන අයෙකු හා විවාහ වෙන්ටද?”
සුරූපී, ධනවත්, තරුණ දුව, ගත්කටටම, නොපමාවම පිළිතුරු දුන්නාය.


“අම්මේ, තාත්තේ, මා කැමැති පුරා විද්‍යාඥයෙක් සමග විවාහ වෙන්න.” 


දෙමාපියෝ, තරමක් විස්මයට පත් වූහ.


පියා, දියනියගෙන් මෙසේ විමසුවේය. “ඇයි දුව, ඔබ පුරුවිද්‍යාඥයෙක් එක්ක විවාහ වන්න කැමැති?” 


මවද එකතු වූවාය. “දූ, ඔයා පුරාවිද්‍යාඥයකුට කැමැති ඇයි?”


දුවගේ වාරය එළඹියේය. සුරූපී, ධනවත් තරුණිය දෙමාපියන්ට මෙසේ කීවාය.


“අම්මේ, තාත්තේ, පුරාවිද්‍යාඥයකු සමග මා විවාහ වුණාම, මා මහළුවන්නට මහළුවන්නට එයා මට වැඩි වැඩියෙන් ආදරය කරනවා.” 


RECOMMEND POSTS

RELATED POSTS