ආසියාවේ මහා අලි - ඇත් සමුළුව



 
“බුද්ධියෙන් සහ මනසින් අන් සියලු සත්වයන් පරයන සත්වයා නම් අලියායි”
ඇරිස්ටෝටල් (ක්‍රිස්තු පූර්ව 384 - 322)
ග්‍රීක දර්ශනවාදී විද්‍යාඥයා
 
 
හීලෑ අලි - ඇත්තු, තැන්පත්ව පෙරහැරේ යති. තමන් මත සිටින පුද්ගලයන්, ගරු බුහුමන් පෙරටුව රැගෙන යන අලි - ඇතුන් දැකීම, නරඹන්නන් තුටු - පහටු කරන්නේය. විභූතිමත් ඇඳුමින් සරසනු ලැබ, තමන් මත තබන ලද පූජනීය වස්තු, ගැඹුරු පෙනුවෙන් යුක්තව ගෙනයමින්, විනීතව පිය නඟන අලි - ඇත්තු, සැදැහැවතුන්ගේ භක්තිය උද්දීපනය කරති.
 
අලි-ඇතුන් බැලීම, බාල-වැඩිහිටි-මහළු කාගේත් අධ්‍යාත්මික සුවය සලසන අත්දැකීමකි. අපගේ මේ පුණ්‍යවන්ත දේශයට සංචාරකයන් කැඳවන මහඟු ධන-නිධාන ගණයට අයත්වන අලි-ඇත්තු, දීර්ඝ කාලයක් මුළුල්ලේ, අපගේ දේශජ සංස්කෘතියේ සජීවී සංකේතයක්ව සිටිති. 
 
ශ්‍රී ලංකාවාසී අපි, ඉතිහාසයට මතක තිබෙන කාලය මුළුල්ලේම, ඒ අලි-ඇතුන් හා සමඟ අපගේ මේ ද්වීපික නිවාසය බෙදා හදාගෙන වෙසෙන්නෙමු. සියවස් විසිපහකටත් අධික අපගේ වංශ කතාවෙහි අලි-ඇතුන් නොසිටි සමයක් ගැන සිතන්නටවත් බැරි තරම්ය.
 
මහනුවර දළදා මැදුරේ වාර්ෂික පෙරහැරෙහි පටන් ලොකු කුඩා බොහෝ සිද්ධස්ථානවල උත්සව අවස්ථා බබුළුවන්නේ අලි-ඇතුන් විසිනි. ඇතැම් ප්‍රසිද්ධ උත්සවාදියේදීත් අලි-ඇතුන් භාවිත වේ. බර අදින අලි-ඇත්තුද වෙසෙති. මෑතක සිට, “අලි-මිනිස් ගැටුම්” යන නම ලබන අර්බුදයකින් අපගේ මේ දේශය පෙළෙයි. මිනිසුන්ගේ වගා, දේපොළ හා ජීවිතත්, හානියට ලක් කරන වන අලි, අසරණ ගැමියන්ගේ ජීවිතවලට, දරාගත නොහෙන ව්‍යසනයකි.
එසේ වුවද අපගේ ජනතාව අතුරින් බොහෝ දෙනා වන අලි කෙරෙහි දක්වන්නේ අනුකම්පාවක්, වෛරයක් යන දෙකම සම්මිශ්‍රිත හැඟීමකි. තමන්ට අලි-ඇතුන් නිසා විඳ ගන්නට සිදුවූ ගැහැට ගැන වන අලි-ඇතුන්ට බැණ වදින උන්ට ශාප කරන ගැමියෝ සිටිති. වන අලි නිසා මිනිස් ජීවිතයකට හානි පැමිණුනු විට ඒ ගැමි ජනයාට එවැනි ඛේදවාචකයක් ඉවසා දරා සිටිය නොහේ.
 
එහෙත්, රෝගීව වැටී සිටින වන අලියකු හෝ වළක, දියෙක, ගඟක වැවක හෝ වැටී සිටින අලි-ඇතුන් හෝ දුටුවිට, ඒ ගැමියෝ කඳුළු හෙළන තරම් දුකට පත්වෙති. අපේ රටේ මිනිසුන් තුළ, ස්වභාව සිද්ධව, අලි ඇතුන් කෙරේ පවත්නා කරුණාව හා මෛත්‍රිය ඉම් කොන් නොහෙන තරමට දියුණු කරන වන-අලින්ට හද උතුරා යන තරමේ ආදර බර හැඟීම් ධාරාවක් දනවන, සම්භාවනීය පර්යේෂණයක් පරිශීලනය කිරීමේ අවස්ථාව මට මෑතදී උදාවූයේය. 
 
දිලුම් අලගියවන්න නම් තුරුණ පරිසරකාමියා විසින් ශ්‍රී ලංකාවේ වන අලි-ඇතුන් පිළිබඳව කරන ලද කෘති ද්වය මෙතෙක් මේ දේශයේ වන අලි ඇතුන්ට පිදුණු විශිෂ්ටතම උපහාරයකි. අලි-ඇතුන් වරුණ අරභයා මේ කෘතින්ගේ එළිය ලබන කවරෙකුට හෝ වේවා අලි-ඇතුන්ගේ දිවි පෙවෙත සතු අපූරු ගුණ සමුදාය ගැන අනුකම්පා පූර්වක නොවී සිටිය හැකි නොවේ. දිලුම් අලගියවන්න ජීවකාමියාගේ නිර්මාණ දෙක හුදෙක්, හැඟීම් පමණක් මුල්කොට සම්පාදනය වූයේ නොවේ. ඒවා ප්‍රභවය වූයේ දිවා රෑ නොබලා කරන ලද පර්යේෂණ, චාරිකා, මූලාශ්‍ර ගවේෂණය, අන්තරායනට මූණ පෑම් වැනි සංකීර්ණ ක්‍රියාදාමයකිනි.
 
දිලුම් අලගියවන්න සිය අලි-ඇතුන් ගවේෂණයේ විස්මය දනවන සුළු ප්‍රතිඵල, මාධ්‍ය දෙකකින් ඉදිරිපත් කරන්නේය. විද්‍යුත් මාධ්‍යයේදී ඒ පර්යේෂකයා, ඉතාම ප්‍රවීණ හා නවීන තම තාක්ෂණ ක්‍රම භාවිතයෙන් විත්ති කතා චිත්‍රපටයක් :ෘදජමපැබඒරහ* නිර්මාණය කරයි. ඔහු මුද්‍රිත මාධ්‍යයේදී සුවිශිෂ්ට ග්‍රන්ථයක් සකස් කරන්නේය. එය සම්භාව්‍ය “කොෆි බුක්” ශෛලියේ කෘතියකි.
 
මේ දෙකටම පොදුවූ තේමාව මගින්, දිලුම් අලගියවන්න ශ්‍රී ලංකාව ජගත් වන සත්ව ජීවීන් පිළිබඳ සිද්ධි මාලාවේ ඉතාම විභූතිමත් ස්ථානයක් හුවා ලන්නේය. මා දන්නා තරමට, දිලුම් අලගියවන්න පාරිසරිකවේදියා, ප්‍රථම වරට අනාවරණය කරන කරුණ නම් වන අලි ඇතුන්ගේ වහාම ආසියානු සමුළුව” පැවැත්වෙන්නේ අපේ සුන්දර දේශයෙහි බවයි. එය, දැන්වීම් හෝ ප්‍රවර්ධන ව්‍යාපාර පිළිබඳ ආයතනයක අනුග්‍රහයෙන් පැවැත්වෙන්නක් නොවේ. එය හුදෙක්ම පරම්පරා ගණනක් මුළුල්ලේ වන අලි-ඇතුන් සිය අපූරු ස්මෘති ශක්තියේ බලයෙන් පවත්වාගෙන එනු ලබන “අලි” සමුළුවකි. 
 
ජගත් මට්ටමේ පරිසර විශේෂඥයන් විසින් සටහන් කෙරෙන ආකාරයට ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන මේ ආසියානු වන අලින්ගේ සමුළුව, ලොව පුරා සිදුවන වන සත්ව සංදර්ශන අතුරෙන් හයවන තැන ගනී. මේ ශ්‍රී ලංකා වන අලි මහා සමුළුව, ආසියාවේ වන සත්ව සංදර්ශනවලින් ප්‍රථම ස්ථානය ගන්නේය.
 
ශ්‍රී ලංකා මහා වන අලි සමුළුව, ආසියාවේ විශිෂ්ටතම, වන සංදර්ශනය බවට පත්වන්නේ එක්තරා නියමිත කාල පරිච්ඡේදයකදීය. අප්‍රේල් මාසයේ සිට වන අලි මින්නේරිය ජාතික වනෝද්‍යානයට සංක්‍රමණය වෙති. ඔවුන් සිය රැළේ නිවස කොට ගන්නේ මින්නේරිය වැවට ආසන්න පෙදෙසෙයි. මිහිතලයේ විශාලතම ක්ෂීරපායී සත්වයාට වියලි සමයේ සුඛ ස්ථානය ඒ වැව ආශ්‍රිත පෙදෙසයි. දින ගෙවෙමින් සති බවට පත්ව ඒවා මාස ගණන් වන තෙක්ම වන අලි මේ නිවාඩු නිකේතනයේ දිවිපෙවත ආස්වාදය කරති. දින සති මාස ගණන් වැඩෙන්නාක් සේ එහි වෙසෙන වන අලි-ඇතුන්ගේ සංඛ්‍යාවද ඉහළ නඟී. අගෝස්තු මාසයේ අවසානය වන විට, මින්නේරි වැව් තෙර ඝණ අලි කළුවෙන් වැසෙයි.
 
මේ මහළු, වැඩිහිටි, යොවුන්, ළපටි වන-අලි එකතුව නිසා මේ “වන අලි මහා සමුළු” පෙදෙස, මුළු ලෝකයේම ස්වභාවික රස වින්දනයෙන් තුටු - පහටුවණ, විනෝදකාමීන්ගේ රජදහනක් බවට පත්වේ.
 
මිහිතලයේ දැවැන්තයන් මෙසේ මහා සමුළුවකට එකතුවී සිය, ජීවන රටාව පවත්වාගෙන යන විට, ඒ පෙදෙස, සොබාදම් කාමීන්ට පරාදීසයක් වේ. ඒ “මහ සතුන්ගේ” චර්යා, ඔවුන්ගේ ආහාර-පාන රටා, මිතු සබඳකම්, දාරක ප්‍රේමය, පැටවුන් හදා ගන්නා හැටි, ආරක්ෂාව සැලසීමේ ක්‍රම, ප්‍රේම සම්බන්ධතා, ප්‍රේම තරග, පුරුෂ අලියා තමාට සුදුසු පෙම්වතියක් සොයා ගැනීමේ ස්වභාවික තාක්ෂණය වැනි බොහෝ දේ “සජීවී විද්‍යාගාරයේදී” හදාරන්නට අභීත පරිසර කාමියාට, ලෝකයේ හොඳම තැන මේ “ශ්‍රී ලංකාවේ සිදුවන, ආසියාවේ, මහාම අලි-ඇතුන් සමුළුව” යි.
 
සොබා දහම් හිතකාමී දිලුම් අලගියවන්න විසින් සම්පාදිත ශ්‍රව්‍ය දෘෂ්‍ය රූපෙළ, ප්‍රශස්ත ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.
ඔහු විසින් සිය මුද්‍රිත ප්‍රකාශනයෙන් සංග්‍රහ කරන නිසල රූප පද්ධතිය වුවද වන අලි-ඇතුන්ගේ ජීවන ප්‍රසංගය, පිළිබඳව රසිකයන්ගේ මනස තුළ, තියුණු ආස්වාදයක් හා කුතුහලයක් දනවන සුළුය.
 
සිය ඡායාරූප සංග්‍රහයෙහි, එක් තැනක දැක්වෙන සිද්ධියක් ගැන දිලුම් අලගියවන්නගේ විවරණය මෙසේය.
වරක් ඔහු වන ඇතුන් රැළකගේ ඡායාරූප ගනිමින් සිටියදී එක් දඟකාර ඇත් පෝතකයෙක් රැළෙන් මිදී ඔහු වෙත දිව ආයේය.
 
ඇත් රළේ සිටි මහ “පිරිමි” සහ මහ කාන්තාවෝ දිලුම්ට විරුද්ධව, ආක්‍රමණශීලීව ඔහු වෙත එන්ට සැරසුනහ. එවිට, ඒ ඇත්පෝතකයාගේ මාතාව, ඒ නපුරු නෑයන් පිරිස වළක්වා ලූවාය. දිලුම් ඒ සිද්ධිය මෙසේ විස්තර කරයි. “ඒ අලි මාතාව, “මිනිසෙකු” මෙන් ඉදිරිපත්ව ඒ ආක්‍රමණශීලීන් අවුරාලූවාය. ඒ මවට ඕනෑ කළේ මාත්, ආදරණීය පැටවාත් ආරක්ෂා කොට ගන්නටයි.”
 
මේ දර්ශනය, තවත් සිය ගණනක් හා සමග මේ පොතේ මුද්‍රිතව තිබේ. දිලුම් විසින් මේ දුර්ලභ “අලි” ඡායාරූප පද්ධතිය, එක්කොට තනා තිබෙන ග්‍රන්ථය, හුදෙක් දෘශ්‍ය අංශයට පමණක් සීමා වූයේ නොවේ. අලි ජීවිතයේ විවිධ පැති ඔහු විසින් ඉතා පැහැදිලි ලෙස විවරණය කෙරෙන්නේය. ඇතුන්ගේ පවුල්වල ව්‍යුහය, මාතෘ ප්‍රභුත්වය, සමාජ චර්යා, තනි අලියා, පෙම්වතියන් සොයන මදැතා, අලි දෙනගේ දාරක ලාභ චක්‍රය.
 
අලි පැටවුන්ගේ ළමා කාලය පිළිබඳව, දිලුම් විසින්, උචිත ඡායාරූප සහිතව, කෙරෙන විවරණය, දැඩි මෛතීපූර්වක හැඟීම් දනවන සුළුය. ඇත් පෝතකයා, මිනිස් පැටවුන්ටත් වඩා කුතුහලය දනවන පැටවුන් වර්ගයක් වන්නේ, අලි-ඇතුන් සතු, විශේෂ ලක්ෂණයක් නිසාය.
 
ඒ ලක්ෂණය නම් “හොඬවැලයි”
 
දිලුම් විසින් ඡායාරුප පෙළකින්, ඉතාම තියුණු ආස්වාදයක් දැනවෙන පරිදි මේ සිද්ධිය නිරූපණය කෙරේ.
අලි “පොඩි එකාට” හොඬවැල නුහුරුය. එය කොහේ තියාගත්තේද යන්න පවා පොඩි අලියාට මහා ප්‍රශ්නයකි. ඌ එය වරෙක හපන්නේය. අම්මා ඉදිරිපත්ව, “හොඬවැල” පිළිබඳව සිය සුරතල් පොඩි එකාට පාඩමක් කියා දේ. අම්මා, සිය සුරතලාට පේන්ට, සිය හොඬවැලින් තණකොළ මිටියක් කඩා ගන්නීය. එසේ ගත් තණකොළ මිට අම්මා තමාගේ කටට දා ගනී.
 
සුරතල් පැටියාත් තණ මිටක් දෙසට යොමු කරන්නීය. පැටියා, තණකොළ මිට හොඬවැලින් ගෙන එය සිය ගෙලයට තබාගනී. මේ සියල්ල දිලුම් විසින් දුර්ලභාකාරයෙන් කාච ගත කරන්නේය.
 
අලි ඇතුන් පිළිබඳ මේ දැවැන්ත රූප පෙරහර, අපගේ, ජනතාවට ඉතා හොඳින් බලා ගන්නට ඉඩ කඩ සපයා දිය යුතුවේ.
 
මෙහිදි අප හිතවත් ගරු ගාමිණි ජයවික්‍රම පෙරේරා, වන ජීවී සංරක්ෂන ඇමැති තුමාට ඇරයුමක් කරනු කැමැත්තෙමි.
මේ පොත ඉතා පෘථුලවශයෙන් ජනතාව අතට පත්වන තැනට පියවරක් ගනු මැනවි. වන අලි රැකීම, ප්‍රධාන වශයෙන්ම ඔබට භාරය.
 
ඔබගේ අනුග්‍රහයෙන් මේ විත්ති කතා චිත්‍රපටය :ෘදජමපැබඒරහ සෙකප* පාසල් ගුරුවර-ගුරුවරියන්ට හා සිසු පරපුරටද නොමිලේ පෙන්වන්ට බැරිනම් ඉතා සුළු මුදලකට හෝ ප්‍රදර්ශනය කරනු මැනවි. පූජක පක්ෂයට නොමිලයේ විය යුතුය.
 
එසේම තවත් යෝජනාවක් ඇත්තේය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන “විශාලම වන අලි සමුළුව” ගැන මේසා දුක් ගැහැට අන්තරා විඳිමින් කෘති දෙකක් පළ කළ දිලුම් අලගියවන්න තරුණ පරිසරවේදියාට ධෛර්යය සපයනු මැනවි. 

 

චීනයේ 19 වන ජනතා කොංග්‍රස් සමුළුව

පස්වසකට වරක් චීනයේ පැවැත්වෙන චීන ජනතා කොන්ග්‍රස් සමුළුවේ දහනව වැන්න, ඔක්තෝබර් 18 වන බදාදා උදේ බීජිං නගරයේ ආරම්භ වූයේය.


එයට සහභාගිවන නියෝජිත පිරිස 2287 දෙනෙකි. මෙය ලෝකයේ මහා පාර්ලිමේන්තු සැසිය වශයෙන්ද නම් කෙරේ. “ෂී ජියු දා” නම් චීන පදයෙන් හැඳින්වෙන මේ මහ සම්මේලනයෙහි ප්‍රධාන ලක්ෂණය නම් මහජන චීන ජන රජයේ නායක ෂි ජින් පිං පාලකයාගේ දෙවන පාලන වාරය සනිටුහන් කිරීමයි.


පසුගිය පස්වස පුරා පැවැති පාලනයේදී අත්පත්කොට ගන්නා ලද සුවිශේෂී සාර්ථකත්වය තව තවත් ඈතට ගෙනයෑමේ න්‍යාය පත්‍ර සකස් වන්නේ මේ 19 වන මහ සමුළුවේදීය.


බීජිං නගරයේ “ජනතා මහා ශාලාවේදී” ආරම්භවූ ඒ ඓතිහාසික 19 වන මහ සමුළුව, සතියක් පුරා (ඔක්තෝබර් 18 වන දින දක්වා) පැවැත්වේ. මෙය මුළු ලෝකයේම තියුණු අවධානය ලබන සිද්ධියකි.


ජගත් බල තුලනයේ වර්තමාන මොහොතේදී මහජන චීනය සිය ලබා තිබෙන ප්‍රභූතිය මේ 19 වන මහ සමුළුවේදී ව්‍යක්ත ලෙස ප්‍රකාශ වෙයි.


 

උසස් නිලධාරියා සහ ලොම් නැති බැටළු රැළ

උසස් ඇමෙරිකානු නිලධාරියෙක් දුම්රිය ගමනක යෙදී සිටියේය. ඔහු ගමන් කළේ සිය සහායකයා හා සමගයි. ඒ ඉහල බලවතා ඉතා පරෙස්සමෙන් කතා කරන පුද්ගලයකු වශයෙන් පෘථුල කීර්තියක් දැරූ අයෙකි. ඔහු සුළු වචනයක් හෝ කතා කරන්නේ බොහෝ සේ සිතීමෙන් පසුවයි. 


දුම්රිය දිග තණ බිමක් මැදින් ගමන් කළේය. අලුත ලොම් කපන ලද බැටළු රැළක් ඒ තණ බිමේ සිටියහ. බැටළුවන්ගේ ලොම් වැඩුණු විට බැටළු පාලකයෝ ඒ සතුන්ගේ ලොම් සහමුලින්ම  කපා ගනිති. එවිට, ඔවුන්ට ලොම් නැත.


සහායකයා මෙසේ කීයේය. “මහතාණෙනි, බලන්න. අර බැටළුවන්ගේ ලොම් කපා තිබෙන්නේ ඉතා අලුත.”
උසස් නිලධාරියා එදෙස බලා ගැඹුරු ලෙස මෙසේ පැවැසුවේය.” ඔව් අපට පෙනෙන පැත්තේ නම් උන්ගේ ලොම් කපලා.”


කතා කිරීමේ පරෙස්සමක තරම! 
සිතා බලන්න. සිතන්නට, සිතන්නටම ඒ උසස් නිලධාරියාගේ පරෙස්සම් කතාවේ ස්වභාවය ඉතා හොඳින් අවබෝධ වේ.


 

 

ලෝකයේ දිගම දිව සහිත බල්ලා

ගිනස් වාර්තා පොතට, නොයෙක් ආකාරයේ ප්‍රවෘත්ති එකතුවේ. එහි අලුත්ම පුවත්වලින් එකක් නම්, ලෝකයේ ඉතාම දිග දිව තිබෙන බල්ලා පිළිබඳ කතාවයි.


මෝචි නම් ඒ අට හැවිරිදි බල්ලාගේ දිවේ දිග ප්‍රමාණය අඟල් 7.31යි. සේන්ට් බර්නාඞ් වර්ගයට අයත්මේ සුනඛයා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ, දකුණු ඩැකෝටා ජනපදයෙන් සොයා ගැනීමට හැකිවී තිබේ.


මේ වර්ගයේ සුනඛයෝ මිනිස් ජීවිත ගලවාගනු පිණිස බොහෝ විට පුහුණු කරනු ලබන්නෝයි.


 

පරමානු අවි තර්ජනය මුළු ලොවටම අවදානමක්

පෙර අන් කිසිම කලකට වඩා, අද මේ මොහොතේ පරමාණු අවි තර්ජනය ඉතාම ප්‍රබල ලෙස ඉස්මතුවෙයි.
අද ලොව න්‍යෂ්ටික අවි සහිත රාජ්‍ය නවයක් සිටිති. ඒවා නම්: ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය, රුසියාව, චීනය, ප්‍රංශය, බි්‍රතාන්‍යය, ඊශ්‍රාලය, පාකිස්ථානය, ඉන්දියාව සහ උතුරු කොරියාව, මයිකල් ඩග්ලස් නම් විශේෂඥයා විසින් පැවසෙන පරිදි, න්‍යෂ්ටික අවි 15,000ක්, මේ රාජ්‍ය සතුව ඇත්තේය.


න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ තීරණයට එළඹෙන්නේ ඒ ඒ පරමාණු බල රාජ්‍යයේ නායකයායි. නිදර්ශනයක් මෙසේය. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපතිවරයාට, සිය කැමැත්තෙන් න්‍යෂ්ටික අවියක් භාවිත කළ හැකිය. ඔහු අණදී විනාඩි හතරක් ඇතුළත, න්‍යෂ්ටික අවි යැවෙයි. කිසිම කෙනකුට ඒ තීරණයට විරුද්ධ විය නොහැකිය.
උතුරු කොරියාවේ නායක කිම්ජොංඋංට අත්තනෝමතික ලෙස, න්‍යෂ්ටික අවි යවන්නට තීරණය කළ හැකිය. න්‍යෂ්ඨික අවි සහිත රාජ්‍යයන්හි නායකයන්, කිසිවෙකුට අවනත නොවන අය වුවහොත්, එහි අත්‍යන්ත, භයානක ප්‍රතිඵලයට මූණ පාන්නේ මුළු ලෝකයේම ජනතාවය. 


ලෝකයේ රාජ්‍ය අතුරින් 120ක් එකතුවී, එක්සත් ජාතික සංවිධානයේදී, න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමක් අනුමත කරන ලදී. එහෙත්, එකම න්‍යෂ්ටික බල සහිත රාජ්‍යයක්වත්, ඒ ගිවිසුමට එකඟත්වය පළ කළේ නොවේ. අත්තනෝමතික තීරණ නිසා මුළු ලොවටම තුන්වන ලෝක මහා සංග්‍රාමයකට පාර නොකැපෙනු පිණිස ලෝක ජනතාව, නොපමාවම, න්‍යෂ්ටික අවි තහනමට පක්ෂ නැඟී සිටිය යුතුවේ.


 

අරාබි නිසොල්ලාසය නොහොත් එක්දහස් එක් රැය

පැරැණි ලෝකයෙන් නවීණයන්ට උරුම වූ කතා සාහිත්‍යය ඉතාම පෘථුලය. ඒ සියල්ල අතුරින් නවීනයන්ගේ අවධානය වැඩියක්ම දිනාගත් කතා සංග්‍රහය නම් “අරාබි නිසොල්ලාසය”යි. මේ පොත, “එක්දහස් එක් රැය” නමින්ද ප්‍රචලිතය. අපරදිග සංස්කෘතීන්හි බොහෝ දෙනා, ඉතා මෑතක් වන තෙක්ම පෙරදිග සාහිත්‍යය වශයෙන් දැන සිටියේ “අරාබි නිසොල්ලාසය” පමණි. 


මේ අරාබි කතා සංග්‍රහය සකස් කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 13ත් 16ත් අතර කාල පරිච්ඡේදයේදීය. එහි ප්‍රවේශය දක්වන සිද්ධිය අතිශයින් සිත්ගන්නා සුළුය. කතා සමූහය. සංවිධානය වී තිබෙන්නේ එක් ප්‍රධාන කථාවක් තුළ ගැබ්වූ කුඩා කතා සමූහයක් වශයෙනි.


කතාව ආරම්භ වන්නේ ෂාර්යාර් නම් රජුගෙනි. ඒ රජු කාන්තා විරෝධීය. ඒ රජු, සුළු කලක් කාන්තාවක් ආශ්‍රය කොට ඇය නසා දමන්නේය. මෙසේ නසාලනු ලබන කාන්තාවනගේ සංඛ්‍යාව ඉතා භයානක ලෙස අධික වන්නට පටන් ගත්තේය. ඒ අවස්ථාවේදී සිය කාන්තා වර්ගයාට පත්ව තිබෙන ඛේදදායී ඉරණමින් ඔවුන් බේරා ගන්නා පිණිස වීර කාන්තාවක් සිය කැමැත්තෙන් පෙරට ආවාය. ඒ කාන්තාව, රජුගේ උපදේශකවරයාගේ දියණියවන ෂාහ්රෂාඞ්ය. ඒ කාන්තාව රජු වෙත ආයේ වරයක් ලබා ගෙනයි. ඒ වරය, ඇයට සිය නැගණියද ගෙන්වා ගන්නට අවසර දීමයි. නැගණිය ඩිනරෂාඞ්ය. 


ෂාහ්රෂාඞ්, රාත්‍රියේදී සිය නැඟනියට කතාවක් කියන්නීය. රජුද එය අසාගෙන සිටී. කතාව, එක් රැයින් නිමා නොවේ. රජු ඒ කථාවේ නිමාව දැන ගන්නට දැඩි අශාවක් දැක්වූ නිසා ෂාහ්රෂාඞ් කාන්තාව සිය කතාව නිමා නොකොට, රැයින් රැයට කියාගෙන ගියාය. කතාවේ රසයෙන් වශීවූ රජු ඇය නොමරා දිගටම ඇයගේ කතාව අසාගෙන සිටියේය. මෙසේ රෑ දහසක් තිස්සේ කතාව කියාගෙන යද්දි ඇයට රජුගෙන් දරුවන්ද ලැබුණේය. පසුව රජු ඒ කාන්තාව හා සමග ස්ථිර ලෙස සම්බන්ධවී ඇයට උපකාර කළේය. ඇයගේ නැගණියවන ඩිනරෂාඞ් සහ ඇයගේ සහෝදරයාටත් ආවහ විවාහ සම්පත් ලබාදී ෂහ්රාඞ් කාන්තාව, සිය කාන්තා වර්ගයා, ස්ත්‍රී විරෝධි රජුගෙන් ගලවා ගත්නීය. 


මේ කතා පෙළ අතිශයින්ම මනවඩන්නේය. ඒ කතා විවිධ සාහිත්‍ය සංග්‍රහවලින් උපුටා ගන්නේ ලද්දේ වේ. ඇතැම් ඒවා උපුටාගෙන තිබෙන්නේ පංචතන්ත්‍රයෙනි. පර්සියානු, මිසර ආදි සම්ප්‍රදායයන්ගෙන් පැවත එන ප්‍රවාදත් මෙහි දැකිය හැකිවේ. 


මුළු කතා සංග්‍රහයම විස්මය උපදවන ප්‍රවාදවලින් පිරුණේය. ලොව නොයෙක් භාෂාවලට නඟන ලද මේ කතා ඉංශ්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ සර් රිචඞ් බර්ටන් (1821-1890) විසිනි. සංස්කෘත අනුවාදය “ආරභ්‍ය උපතිෂද්” යන නමගනී. මේ කථා පද්ධතිය සිංහලයට නැඟී නැතැයි මට සිතේ. 


RECOMMEND POSTS

RELATED POSTS