ලෝකයේම තරු ආ ඉන්දීය මංගල්‍යය !



ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඇය විවාහ වූයේ, ඉන්දියාවේ තවත් ප්‍රකෝටිපති ව්‍යාපාරික යුවළකගේ පුත්‍රයෙකු වන ආනන්ද් පීරමල් සමග ය.

මුම්බායිහි පිහිටි මහල් 27 කින් යුත් අන්තිලියා අම්බානි නිවසේදී පැවති මෙම විවාහ මංගල්‍යය උත්සවය විචිත්‍රවත් අංග රැසකින් සමන්විත වූයේ දුටුවන්ගේ නෙත් පුදුමයට පත් කරවමිනි.

මෙම උත්සවයට බොලිවුඩ් සුපිරි තරු මෙන්ම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහ දේශපාලනඥයින් රැසක් ද සහභාගී වූහ.ඊට අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරුන් වන හිලරි ක්ලින්ටන් සහ ජෝන් කෙරී මෙන්ම ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි ද ඇතුළත් ය.

හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරුන් වන හිලරි ක්ලින්ටන් සහ ජෝන් කෙරී මෙහිදී ආර්තී නමැති සාම්ප්‍රදායික ඉන්දීය නර්තනාංගයකට ද සහභාගී වූහ.

මෙම උළෙලේ තවත් විශේෂත්වයක් වූයේ, නර්තනයෙන් අගතැන්පත් ඉන්දියාවේ පැවති මෙම අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යය උත්සවයේ නර්තන අධ්‍යක්ෂණය ශ්‍රී ලාංකික නර්තන ශිල්පියෙකුට පැවරීමයි.

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහතාගේ නර්තන අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුණු මෙරට නර්තන ශිල්පීන්ගේ දක්ෂතාවයන්,  උත්සවයට සහභාගී වූ ආරාධිතයින්ගේ දෙනුවන් අමන්දානන්දයට පත් කිරීමට සමත් විය.

ඊෂා අම්බානිගේ පූර්ව විවාහ මංගල සාදය ද අතිශය අලංකාරවත් විය. ජායිපූර්හි පැවති මෙම උ‍ළෙලට සහභාගී වීමට පැමිණෙන ආරාධිතයින් වෙනුවෙන් මුකේෂ් අම්බානි ගුවන් යානා 100ක් සූදානම් කර තිබීම ද විශේෂත්වයකි.

දින 5ක් පුරා පැවති පූර්ව විවාහ මංගල සාදය රස ගන්වන්නට පැමිණි පිරිස අතරට ලෝප්‍රකට පොප් ගායිකාවක වන බියොන්සේ නොවෙල්ස් ද එක්ව සිටියා ය.

සුපිරි බොලිවුඩ් සුපිරි තරු වන ප්‍රියංකා චොප්රා, අමීර් ඛාන්, අමිතාබ් භච්චන්, ශාරුක් ඛාන් ඇතුළු නළු නිළියන් රැසක් එහිදී අලංකාර නර්තනාංගයන් ඉදිරිපත් කළහ.

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS