පලා ආ 40ක් රියාද් නුවර



හාම්පුතුන් ගෙන් පොරොන්දු වූ පරිදි වැටුප් නොලැබීම්, විවිධ තාඩන පීඩා, හිරිහැරයන්ට ලක්වූ ආදී විවිධ හේතූන් මත සිය සේවා ස්ථාන වලින් පලා ආ ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 40 දෙනකු මේවන විට සෞදියේ රියාද් නුවර රැදී සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම ලාංකික ගෘහසේවිකාවන් පිරිස සෞදි රජයේ අනුග්‍රහයෙන් රියාද් නුවර ක්‍රියාත්මක “කාන්තා සුබසාධන කඳවුරු” තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අධීක්ෂණය යටතේ නේවාසිකව රැඳී සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මෙම පිරිසගෙන් ගෘහසේවිකාවන් 14 දෙනෙකුම පොරොන්දු වූ පරිදි හාම්පුතුන් ගෙන් වැටුප් නොලැබූවන් වත අතර ඇතැම් පිරිස් මීට වසර අටකට වැඩි කාලයක සිට සෞදි ගෘහසේවය සඳහා පැමිණි පිරිස් බවද වාර්තා වේ.

මෙම පිරිස් සෞදි රජයේ කාන්තා සුබසාධන කඳවුරු තුළ සිටියද මෙම කාන්තාවන්ගේ සේවා ගිවිසුම් කඩවීමේ ගැටලු නිරාකරණ කටයුතු සහ වෙනත් අවශ්‍යතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්ව කටයුතු කරන බවද එහි තානාපති නිලධාරියෙකු ලංකාදීපයට පැවසීය.

එසේ තානාපති කාර්යාලය මැදිහත්ව කටයුතු කරමින් සිටියදී ඇතැම් සේවිකාවන් විවිධ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සෞදිය තුළ ඔවුන්ට සහන ලබා දීමේ ක්‍රමවේදයන් ගැන විවේචනාත්මක දෑ පළ කරන බවද එම නිලධාරියා කියා සිටියේය.

එවැනි දෑ වලින් ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන් අසීරුතාවයට පත්වන සේම ඔවුන් වෙනුවෙන් සිදු කරන්නා වූ ක්‍රියාවලියට බාධා එල්ල වීමක් සිදු වන හෙයින් හැම විටම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවද  එම තානාපති නිලධාරියා පෙන්වා දෙයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS