ලොව දිනූ පුංචි හපනිය



බ්‍රිතාන්‍ය දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය. ඇය නිශී උග්ගල්ලය.

නිශී මෙසේ සම්මාන ලැබුවේ චැනල් 4 නාලිකාව  නිෂ්පාදනය කළ ‘පුංචි හපනා’ (චයිල්ඩ් ජීනියස්’ Child Genius)  වැඩසටහන හරහාය. තමන් සමග තරග කළ බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පහසුවෙන් පරදවා ඉහළ ජයග්‍රහණයක් ලැබීමට නිශී සමත් වීම සැබැවින්ම අගය කළ යුතු දෙයකි.

ලැබූ එම ජයග්‍රහණයෙන් පසු නිශී මාධ්‍ය හරහා නිශීට ලොකු ප්‍රසිද්ධියක් හිමිවිය. ජාත්‍යන්තරයේ ඇය ජනප්‍රිය විය. බීබීසී නාළිකාව පමණක් නොව, බ්‍රිතාන්‍යයේ සෙසු පුවත් නාළිකා රැසකටත් ජාත්‍යන්තර නාළිකා රැසකටත් නිශී අදහස් දක්වා සිටියේ මහත් ආසාවෙන් සහ ආඩම්බරයෙනි. තම දියණිය පසුපස සිටිමින් පමේ හැමදේමට සහභාගී වීමට ඇගේ පියා යුහුසුළු විය. ඒ, රැකියාවෙන් නිවාඩු ගෙනය.

නිශී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වූවාය. ඇය සිංහල සේවය සමඟ කතාබහ ආරම්භ කළේ මෙලෙසිනි. ‘මගේ අම්මල, තාත්තලා වගේ ම මගේ සේරම යාලුවන්ටත් හරි ම ආඩම්බරයි. මම මුලින්ම කියන්න ඕනෑ දැනුම වැඩි කරගන්න ඕනෑ නම් කියවන්න. පොත්, පත්තර, සඟරා කියවන්න. පුළුවන් තරම් කියවන්න’ යැයි බ්‍රිතාන්‍යයේ ‘පුංචි හපනා’ වැඩසටහන හරහා ‘හපනියක’ වුණු නිශී පැහැදිලි කළාය.

නිශී සෙසු නාළිකා වෙත අදහස් දැක්වූයේ ඉංග්‍රීසියෙනි. ඒ ඇය හොඳින් දන්න භාෂාවය. බීබීසී සිංහල සේවයට එක්වෙද්දී, ‘නිශීගේ සිංහල කො​හොමදැයි’ විමසූ විට, ඇගේ පියා වන නිලංග මහතා කියා සිටියේ ‘දූට සිංහල පුළුවන්’ කියාය. බ්‍රිතාන්‍යයේ උපත ලබා හැදී වැඩුණු නිශී, ඉන් අනතුරුව බී.බී.සී. සිංහල සේවය සමග අදහස් පළ කළේ සිංහලෙනි. ශ්‍රී ලංකාවේ උපත ලබා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ නීලංග උග්ගල්ල සහ ශිරෝමි ජයසිංහ ඇයගේ දෙමාපියන්ය.

‘ඔයාලා කැමැති විෂයයක් තෝරගෙන ඒක ගැන මහන්සි වෙලා වැඩ කරන්න. ඒ වෙනුවෙන් වැඩිපුර සිත යොදවන්න. ඉස්කෝලෙන් උගන්වන දේවලට අමතරව වැඩිපුර දේවල් හොයාගෙන ඉගෙන ගන්න. වැඩිහිටියන් කියන කල් ඉන්නේ නැතිව තමන්ගේ වුවමනාවෙන් වැඩ කරන්න. එතකොට ඉගෙන ගන්න දේවල් ආසාවෙන් කරන්න පුළුවන්. ඔයාල හැමෝට ම මම සුබ පතනවා’ නිශී පෙන්වා දුන්නාය.

නිශීගේ ළමා විය ගැන බීබීසී ය සමග අදහස් දක්වමින් මව ශිරෝමි ජයසිංහ කියා සිටියේ, දියණියගේ දක්ෂතා මුලින් ම තමන්ට පවා වැටහුණේ අන් දරුවන්ට වඩා සිය දියණියගේ ඉදිරියෙන් සිටින බව පෙර පාසලේ ගුරුවරියන් තමන්ට පැවසූ අවස්ථාවේ බවය. ‘දුව වෙනුවෙන් එයාලට අලුත් ක්‍රියාකාරකම් පටන් ගන්න සිද්ධ වුණා.’ මව අතීතය සිදුවීම් මතක් කරමින් කියා සිටියේ මහත් ආඩම්බරයෙනි.

දියණියගේ ළමා කාලය ගැන අප සමග වැඩිදුරටත් විස්තර කළ පියා,  ‘වෙන ළමයි සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කරද්දී නිශීට ඕන වුණේ ප්‍රහේලිකා හදන්න වගේ දේවල්. පස්සේ ළදරු පාසලට ගිහිල්ල දවස් දෙක තුනකින් ම එයාලට සිද්ධ වුණා නිශීට ගැළපෙන අලුත් ගුරුවරියක් ගෙන්න ගන්න.’ ඉන් අනතුරුව පාසලේදීත් නිශී කෙතරම් ඉක්මනින් ඉහළ පන්තිවලට මාරු කරනු ලැබුවේ ද යත්, පාසලේ සිවු වන වසරේ උගත යුතු වයසේදී ඇය අධ්‍යාපනය හැදෑරුවේ හය වන වසරේය.

දරුවන් මෙන් නොව, දැරියන් ගණිතය සහ භෞතික විද්‍යාව වැනි විෂයයන් ඉගෙන ගැනීමට එතරම් දක්ෂ නොවන බවට පවතින සම්මතය තමන් මේ තරගයට එක්වීමට එක් ප්‍රධාන හේතුවක් යැයි සම්මානය දිනා ගත් අවස්ථාවේ ඇය කළ සඳහන ද කාගේත් අවධානයට හේතුවක් විය. ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ නිශී උග්ගල්ල බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, පිරිමි දරුවන් හා සමානව දැරියන්ට ද ඒ සියල්ල කළ හැකි බව අවධාරණය කිරීමට තමන්ට අවශ්‍ය වූ බවය.

බ්‍රිතාන්‍යයේ ‘පුංචි හපනිය’ ලෙස සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඇයට ලොව පුරා විවිධ රටවලින් සුබ පැතුම් පළ වුණු බව ද වාර්තා විය. දස හැවිරිදි වියේදී ඇය තවත් ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගත් අන්දම ද ඇතැමුන් සිහිපත් කර තිබිණ. ගණිතය සහ භෞතික විද්‍යාව ඇතුළු විෂයයන් කෙරෙහි උනන්දුවක් දැක්වීම මෙන් ම ‘චයිල්ඩ් ජීනියස්’ වැඩසටහනට ඉදිරිපත් වීම ද තමන්ගේ ම ස්වාධීන තීරණයක් විනා දෙමාපිය බල කිරීම මත ගනු ලැබූ තීරණ නොවන බව නිශී බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

"මට ඕන දේ කරන්න අම්මල, තාත්තල උදව් කළා." බ්‍රිතාන්‍යයේ උපත ලැබුව ද ඇයට බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිය. "එයාට අවුරුදු 18 වුණා ම ඒක දිගට ම තියාගන්නව ද, නැද්ද කියල නිශී තීරණය කරාවි," නීලංග උග්ගල්ල බීබීසී සිංහල සේවය සමග වැඩි දුරටත් කියා සිටියේය. "හැබැයි එයා ලංකාවට ගොඩක් ආදරෙයි. අපි අවුරුද්දකට විතර සැරයක් ලංකාවට යනව. ඒ ගියා ම නිශීගේ බල කිරීම නිසා අපි උඩවලවේ යන්න ම ඕන" පියා විස්තර කළේ සිනහසෙමිනි.

සිය ප්‍රියතම විද්‍යාඥයා මහාචාර්ය ස්ටීවන් හෝකින් ගත් මග යමින් අනාගතයේ දිනෙක භෞතික විද්‍යාඥවරියක වීම නිශීගේ අපේක්ෂාවය. මෙම සියවසේ විශිෂ්ටතම මෙන්ම ගෞරවයට පාත්‍ර වූ විද්‍යාඥයා වන්නේ ස්ටීවන් හෝකින්ය.  ස්ටීවන් හෝකින්ස් පසුගිය 2018 වසරේ අභාවප්‍රාප්ත විය.

බීබීසී සිංහල ඇසුරිනි

RECOMMEND POSTS