බෝම්බ පිපිරුවේ අයි.එස්. ත‍්‍රස්තයෝද ?



ඬේලිමේල් පුවත් වෙඞ් අඩවියේ ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂක ලැරිස්සා බ‍්‍රවුන් එම වෙබ් අඩවියට සකස් කළ වාර්තාවක් ඇසුරිනි.

දශක තුනක කුරිරු ත‍්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලාංකිකයන්ට ත‍්‍රස්තවාදයේ බිහිසුණු බව අරුමයක් නොවේ. පාස්කු ඉරිදා (21 වැනිදා) කි‍්‍රස්තියානි දේවස්ථාන, කොළඹ ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල් සහ තවත් ස්ථාන දෙකක සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් මියගිය ගණන 300 කට ආසන්නය. තුවාල ලැබූ ගණන 200 කට වැඩි යැයි පැවැසෙයි. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමේ අවදානමක් පවතී.

ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් විසින් බාර ගනු ලැබ නැති අතර, ප‍්‍රහාරය සිදුවූ ආකාරයට අනුවත්, ප‍්‍රහාරයට ඉලක්ක වූවන් අනුවත්, එය අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ගේ කුරිරු ප‍්‍රහාරයක් බව බැලූ බැල්මට පෙනෙයි.

ඊයේ (21) ප‍්‍රහාරය එල්ලවීමත් සමඟ බි‍්‍රතාන්‍යයේ එම්අයි5 බුද්ධි අංශය වහා කි‍්‍රයාත්මක වී සොයා බලා ඇත්තේ කොළඹ ප‍්‍රධාන පෙළේ හෝටලවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කෙළේ අයි.එස්. ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ බි‍්‍රතාන්‍ය ජාතිකයන් සිටිනවාදැයි කියාය.

ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයකු හෝ බාර ගෙන නැති නමුත්, අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක ‘ජාතික තොව්හීද් ජමාත්’ සංවිධානය ප‍්‍රහාරයකට අරඅඳිනවා යැයි තොරතුරු හෙළි වී ඇත. ‘ජාතික තොව්හීද් ජමාත්’ සංවිධානය ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුස්ලිම් බහුතරයක් වෙසන මුස්ලිම් නගරයක් ලෙස ද සැලකෙන කාත්තන්කුඩි නගරය කේන්ද්‍රකොට ගනිමින් බිහිවූ සංවිධානයකි.

දැඩි අන්තවාදී අදහස් ඇති ‘ජාතික තොව්හීද් ජමාත්’ සංවිධානය ප‍්‍රසිද්ධියේ පවසා ඇත්තේ තමන් ඉරාකයෙන් සහ සිරියාවෙන් බිහිවුණු අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්ත සංවිධානයට සහාය දක්වන බවය.

‘ජාතික තොව්හීද් ජමාත්’ සංවිධානය පිහිටුවූ සහ්රාන් හසීම් නමැත්තා ඊයේ (21) බෝම්බ් ප‍්‍රහාරයට පැමිණි එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් මේ බව ද මෙතෙක් තහවුරු වී නැත.
‘ජාතික තොව්හීද් ජමාත්’ සංවිධානය කාත්තන්කුඩි බුදු පිළිම කිහිපයක් කඩා හානි සිදු කිරීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන නමුත් මෙම සංවිධානය කිසිදු මහා පරිමාණයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවකට මින් පෙර සම්බන්ධ වී නැතැයි ද පැවැසෙයි.

ඊයේ (21) කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප‍්‍රහාරයට බෙහෙවින් සමාන අයුරින් අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් කළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අපට අමතක කළ නොහැකිය. ලන්ඩන් පාලමේ ප‍්‍රහාරය, මැන්චෙස්ටර් රඟහාලේ ප‍්‍රහාරය ඒ අතරින් කැපී පෙනෙයි. අයි.එස්. ත‍්‍රස්තවාදීන්ට ඇත්තේ එක් අරමුණකි. ඒ, සෙසු ආගම් හෙළා දකිමින් හැකි තරම් ජීවිත බිලි ගැනිමින් ප‍්‍රහාර එල්ල කිරීමය. ඊයේ (21) ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට එල්ල වුණු ප‍්‍රහාරයෙන් දකින්න ලැබුණේ එයයි.

අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය අද වනවිට අඩපණ වී ඇති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැවැසුවත්, එය එසේ නොවන බවත් ඔවුන්ගෙන් ලොව සෑම රටකටම අනතුරක් පවතින බවත් ප‍්‍රධාන බුද්ධි අංශ වාර්තා පෙන්වා දී තිබේ. සිරියාවේ අයි.එස්. ත‍්‍රස්තවාදීන් පරාජය කිරීමට හැකිවී වූයේ සිරියානු ජනාධිපති අසාද්ගේ රජයට ඉරානයෙන්, තුර්කියෙන් සහ රුසියාවෙන් ලැබුණු සහාය හේතුවෙනි.

අන්තවාදී අදහස් ඇති මුස්ලිම් වැසියන් බොහොමයක් ශ්‍රී ලංකාවේ සිට සිරියාවට ගොස් සිරියාවේ අයි.එස්. සංවිධානය සමඟ එක් වූයේ එම සංවිධානය සිරියාවේත් ඉරාකයේත් ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ පළාත් එක් කරමින්, ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවා ගත් අවස්ථාවේදීය. අද මෙම ඉස්ලාමීය රාජ්‍යය බිඳ වැටී ඇත.

2016 වසරේ ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා පවසා ඇති අන්දමට, ශ්‍රී ලංකාවේ හොඳ අධාපනයක් ලැබූ උසස් පවුල්වල සාමාජිකයන් තිස් දෙදෙනකු සිරියාවට ගොස් සිරියාවේ අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය සමඟ එක් වී ඇත. ඉස්ලාමීය රාජ්‍යය බිඳ වැටීමෙන් පසු අයි.එස්. ත‍්‍රස්තවාදීන් සමඟ එක් වුණු බටහිර රටවල සහ ආසියානු රටවල මුද්ලිම් වැසියන් යළි ඔවුන්ගේ මව් රටවල් බලා පැමිණෙමින් පවතින බව ද වාර්තා වේ.

පසුගිය අපේ‍්‍රල් 11 වැනිදා ශ්‍රී ලංකා පොලිසියට විශේෂ ලිපියක් ලැබී ඇත්තේ ‘ජාතික තොව්හීද් ජමාත්’ සංවිධානය කොළඹ කි‍්‍රස්තියානි දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවය. එම ප‍්‍රහාරය මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් හෝ ගිනි අවි යොදා ගෙන කරන ප‍්‍රහාරයක් හෝ ට‍්‍රක් රථයක් හොදා ගනිමින් කරන ප‍්‍රහාරයක් හෝ විය හැකි යැයි එම ලිපියෙහි සඳහන් වී ඇත.

මෙම ලිපියට පාදක වුණු අනතුරු ඇඟවීම පළමුවෙන් ලැබී ඇතැයි පැවැසෙන්නේ විදෙස් බුද්ධි අංශයකිනි. එම බුද්ධි අංශය  ඕස්ටේ‍්‍රලියානු බුද්ධි අංශය යැයි සැක කෙරේ. ආසියානු කලාපයේ ‘ආරක්ෂක සහ බුද්ධි දැලක්’ කි‍්‍රයාත්මක කර ඇති අතර බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ සමඟ  ඕස්ටේ‍්‍රලියා බුද්ධි අංශ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටී.

කවුද මේ තොව්හීද් ජමාත් ?

තොව්හීද් ජමාත් යනු දේශපාලනික නොවන මුස්ලිම් සංවිධානයකි. ශ්‍රී ලංකාවේ පමණක් නොව, සමස්ත ඉන්දීය තොව්හීද් ජමාත්, කටාර් ඉන්දියා තොව්හීද් ජමාත්, එක්සත් අරාබි එමිරේට්ස් තොව්හීද් ජමාත්, එක්සත් ජනපද තොව්හීද් ජමාත්, එක්සත් රාජධානියේ තොව්හීද් ජමාත්, ප‍්‍රංශයේ තොව්හීද් ජමාත් සහ  ඕස්ටේ‍්‍රලියාවේ තොව්හීද් ජමාත් යනුවෙන් රටවල් බොහොමයක තොව්හීද් ජමාත් සංවිධාන ඇත.
තමිල්නාඩුව කේන්ද්‍ර කොට ගනිමින් ද තොව්හීද් ජමාත් සංවිධානයක් පිහිටු ඇත. අල්ලාහ් දෙවියන් හැර වෙන දෙවියකු නොමැති බවත් අල්ලාහ් දෙවියන්ගේ පණිවුඩකරු මහම්මත්තුමා බවත් මෙම තොව්හීද් ජමාත් සංවිධානයේ විශ්වාසයයි.
ඉස්ලාම් දහම පැතිරවීම තොව්හීද් ජමාත් ප‍්‍රධාන අරමුණ වන අතර, සමාජ සේවා කටයුතු රැුසකට මෙම සංවිධානය දායක වෙයි. ලේ දන් දීම්, මාපිය සෙනෙහස අහිමි දරුවන්ට පිහිට වීම, වැඩිහිටි සරණ වැඩසටහන්, දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, සෞඛ්‍ය කඳවුරු, සහන සේවා සහ වෙනත් ආධාර ලබා දීමේ වැඩසටහන් ආදියට තොව්හීද් ජමාත් සංවිධානය ඔවුන්ගේ දායකත්වය ලබා දෙයි.
තොව්හීද් ජමාත් සංවිධානය ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවලට සම්බන්ධ අන්තවාදී අදහස් ඇති සංවිධානයක් ලෙස ප‍්‍රචලිත වී නැත. තමිල්නාඩු තොව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් ගණන 3,00,999 ක් යැයි පැවැසෙයි.

විකිපීඩියා වෙබ් අඩවිය ඇසුරිනි


RECOMMEND POSTS