ඇමෙරිකන් හමුදා ලංකාවට ?



ඇමෙරිකානු හමුදා නිලධාරීන් හා ඔවුන්ගේ උපකරණ මෙරටට ගෙන්වා, ඔවුන් සමඟ කටයුතු කිරීම සඳහා ඇමෙරිකාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට රජය සූදානම් වන බවත්, එයින් ජාතික ආරක්ෂාවෙට තර්ජන එල්ල විය හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

මෙම ගිවිසුම රහසේ අත්සන් නොකර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් කියා සිටී.

ඇමෙරිකන් හමුදාවේ රේඩියෝ පණිවුඩ හුවමාරු උපකරණ ආදී සියල්ල මෙරටට ගෙන්වා ඇමෙරිකා තානාපති කාර්යාල දූත මණ්ඩලවල සිටින නිලධාරීන්ට ඇති මුක්තිය ඇමෙරිකන් සොල්දාදුවන්ට ද ලබා දෙන බවට මෙම ගිවිසුම මගින් කියා ඇතැයි දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් පැහැදිලි කරයි.

මෙවැනි ක්‍රියා නිසා ඉරාකය හා මැදපෙරදිග රටවල ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය වැනි අයහපත් තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ද ඇතිවීමට ඉඩ තිබෙන බව ද මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

ඇමෙරිකා හමුදාව විසින් ගෙන අවි ආයුධවලින් මෙරට අලාභයක් සිදුවුණොත් එයට වන්දි ලබාගැනීමේ කිසිඳු යෝජනාවක් හෝ මෙම ගිවිසුමෙහි ඇතුළත් නොවන බව ද ජයසේකර මහතා මෙහිදී සඳහන් කරයි.

ගිවිසුම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවලදී නිලධාරීන්ට විවිධ බලපෑම් ඇතිවී තිබෙන බව ද කී මහ ලේකම්වරයා කිසිඳු පරීක්ෂාවකින් තොරව ඇමෙරිකානු භාණ්ඩ හා හමුදා නිලධාරීන් මෙරටට පැමිණීම හා ඒවා භාවිතයේ දී කිසිඳු වගකීමක් නොදැරීම තුළ විවිධ ගැටලූ ඇතිවිය හැකි බව ද පැහැදිලි කරයි. මෙමගින් රටට හානියක් වන්නේ නම් එයට විරුද්ධව කටයුතු කිරීමට විපක්ෂය සූදානම් බව ද හෙතෙම පවසයි.

සිංගප්පූරු ගිවිසුම ඇතුළුව වත්මන් රජය අත්සන් කළ සියලූ ගිවිසුම් රටට හානිකර ඒවා බැවින් රටට අභ්‍යන්තර වශයෙන් හානිකර ක්‍රියාදාමයක් මෙම ගිවිසුම තුළින් ද ක්‍රියාත්මක වේය යන සැකයක් පවතින බව ද ජයසේකර මහතා වැඩි දුරටත් කියා සිටී.

දැනටත් ඉන්දු ඇමෙරිකා සහයෝගයෙන් කඳවුරක් පවත්වාගෙන යාමට ත්‍රිකුණාමලයේ අක්කර 36,000ක භූමියක් වෙන් කර තිබෙන බව කී දයාසිරි ජයසේකර මහතා හම්බන්තොට වරාය චීනයට දීමෙන් අමනාප වූ ඉන්දියාව හා ඇමෙරිකාව සමනය කරගැනීම සඳහා ආණ්ඩුව එවැනි දේ කරන බව ද පෙන්වා දෙයි. විදේශවල හමුදා කඳවුරු පවත්වාගෙන යන භූමියක් බවට පත්වීම මෙරට ස්වාධිපත්‍යය හා ජාතික ආරක්ෂා වට හානියක් විය හැකි බව ද හෙතෙම සඳහන් කරයි.

දෙවැනි ලෝක යුද්ධයේදී ත්‍රිකුණාමලයේ හා කොළඹ කඳවුරු තිබීම නිසාත් රටට ගැටලූ ඇතිවූ බව කී මන්ත්‍රීවරයා හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඒවායින් රට මුදාගත් නමුත් දැන්  නිදහසින් වසර 70 කට පසු යළිත් වත්මන් රජය රට යුද වාතාවරණයක් ඇති තැනක් බවට පත්කරමින් තිබෙන බව ද අවධාරණය කරයි. මෙම කටයුතු කිරීමට සූදානම් වන්නේ රටේ නීතිවලටත් පටහැනිව බව ද හෙතෙම වැඩිදුරටත් කියයි.

දයාසිරි ජයසේකර මහතා මේ බව කියා සිටියේ, කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීි.ල.නි.ප මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS