හෑන්ඩ් සැනිටයිසර් ගැන දැනගන්න



කොවිඩ් 19 කොරෝනා වසංගතයත් සමග ලෝකයේම ප්‍රබල අවධානයක් දිනාගත්ත නිෂ්පාදනයක් බවට පත් වී ඇත්තේ දෑත් පිරිසිදු කාරක නැත්නම් හෑන්ඩ් සැනිටයිසර් ය. අද හෑන්ඩ් සැනිටයිසර් අප දෛනික ජීවිතයේ කොටසක් වී අවසන්. ඒ, කොරෝනා වයිරසය හේතුවෙන් සමාජයේ නිර්මාණය වී ඇති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙනි. වෙළඳපොළේ විවිධ හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදන වර්ග දකින්න ලැබුණත්, අප ඒවා භාවිත කළ යුත්තේ ඒ ගැන මනා අවබෝෂයකිනි. හේතුව අප අපේ ආරක්ෂාවට භාවිත කරන හෑන්ඩ් සැනිටයිසර් අපට අනතුරක් විය හැකිය.

එදිනෙදා ජීවීතයේදී පිරිසිදු කිරීම් සඳහා අප භාවිත කරන්නේ සබන් හෝ සබන් දියර වර්ග. කෛස් නමුත් හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදන ඊට වෙනස්. හෑන්ඩ් සැනිටයිසර්වල ක්‍රියාකාරීත්වය සබන් වලට වඩා කිහිප ගුණයකින් වැඩියි. ඒපමණක් නොවෙයි, සබන් භාවිතයේදී වගේ සේදීමක් ද මේ සඳහා අවශ්‍ය වෙන්නේ නැත. හෑන්ඩ් සැනිටයිසර්වල වැදගත්කම වන්නේ, ඉතාම පහසුවෙන්,  ඕනෑම අවස්ථාවක, භාවිතයට ගැනීමට ඇති හැකියාවය‍.

හෑන්ඩ් සැනිටයිසර් භාවිතයේ වාසි රැසකි. කොරෝනා වසංගතය නිසා අප නිතර දෑත් පිරිසුදුව තබා ගනීම කළ යුතුය‍. කොරෝනා වයිරස විෂබීජ ශරීරගත වන්නේ නහයෙන්, කටින් සහ ඇස්වලිනි. එහෙයින්, අපිරිසුදු දෑත්වලින් නහය, කට හෝ ඇස් ස්පර්ශ නොකළ යුතුය. අප සම මතුපිට ඇති අහිතකර බැක්ටීරියා, වයිරස වැනි ඇසට නොපෙනෙන ජීවීන් ක්‍ෂණිකව විනාශ කිරීමේ හැකියාව මෙම හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදනය වලට තිබේ. ඒම හැකියාව ලැබී ඇත්තේ මෙම නිෂ්පාදනවල ඇති ඇල්කොහොල් සංඝටක නිසාය.

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී විවිධ එතනෝල් වර්ග, (ISO Prophyl Alcohol වැනි) ඇල්කොහොල් වර්ග දකින්න ලැබේ. කෙසේ නමුත් බොහොමයක් ඇල්කොහොල් වලින් සමට දෙන්නේ අහිතකර තත්ත්වයකි. හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදන සෘජුවම අපගේ සම සමග ක්‍රියා කරන බැවින්, ඒ සඳහා යොදා ගන්නේ සමට හිතකර එතනෝල් හෝ IPA පමණයි. සාම්ප්‍රදායික හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදනයක ඇල්කොහොල් අඩංගු වීම අවශ්‍ය වෙන්නේ එමගින් සුවිශේෂී පිරිසිදු කිරීමේ කාර්යයක් කරන  බැවිනි. කෙසේ නමුත් අද වනවිට ඇල්කොහොල් අඩංගු නොවන හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදන ද තිබිය හැකිය. කෙසේ වෙතත් ඒවැනි නිෂ්පාදන වලින් අපට අවශ්‍ය ප්‍රතිඵලය නොලැබෙනවා විය හැකිය. ඒ්වා විෂ විය හැකිය. චර්ම රෝග පමණක් නොව පිළිකා ඇති විය හැකිය.

අපේ සිරුර තුළ පමණක් නොව සම මතුපිටට ද ක්ෂුද්‍රජීවීන් සිටී. මේ සෑම ක්‍ෂුද්‍ර ජීවියෙකුම අපට හානිකර වන්නේ නැහැ. හානිකර නොමැති එවැනි ක්ෂුද්‍ර ජීවීන් අප සමග සිටිය යුතුය. අපේ නිරෝගී පැවැත්ම සඳහා ක්‍ෂුද්‍ර ජීවීන්ගෙන් ලොකු පිටුවහලක් ලැබෙයි. මේ නිසාම ක්‍ෂද්‍ර ජීවීන් හිතකර සහ අහිතකර ආදී වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ සම මතුපිට ක්‍ෂුද්‍ර ජීවීන් වර්ග දහසකට වඩා ජීවත් වෙයි. ඒසේ ජීවත් වන ක්‍ෂුද්‍ර ජීවීන් අපේ සමට හිතකර පිරිසකි. ඔවුන් සමට විෂබීජ ඇතුලූ වීම, සම මතුපිට නොයෙක් ඉදිමීම් ඇතිවීම, ආසාත්මිකතා ඇතිවීමෙන් ද වලක්වලා සම ආරක්‍ෂා කරයි. සමේ ප්‍රතිශක්තිය සමතුලිතව පවත්වාගෙන යෑම සිදු කරයි. එහෙයින්, අප දෑත් පිරිසිදු කළ යුත්තේ හිතකර බැක්ටීරියාවන් ආරක්‍ෂා කර ගනිමින්, බාහිර පරිසරයෙන් අපේ සමට එකතුවන අහිතකර බැක්ටීරියාවන් හෝ වයිරස ඉවත් කිරීමටය. 

කොරෝනා ව්‍යාප්ත වීමත් එක්ක අපේ රටේ ද හෑන්ඩ් සැනිටයිසර් සඳහා වන ඉල්ලුම ඉතා ඉහළ ගොස් අවසන්ය. හෑන්ඩ් සැනිටයිසර් ඵලදායිතාවය හා ක්‍රියාකාරිත්වය තීරණය වෙන්නේ ඒ්වායේ අන්තර්ගත ඇල්කොහොල් ප්‍රතිශතයෙනි. අන්තර්ගත ඇල්කොහොල් ප්‍රතිශතයේ අඩු වීම හෝ වැඩිවීම නිෂ්පාදනයේ ගුණාත්මක තත්ත්වයට සෘජු බලපෑමක් සිදු කෙරේ. ගුණාත්මක බව සහිත හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදනයක් යනු ඉතා ඉහළ මට්ටමේ ප්‍රවීණතාවයකින් සහ ඉතා ඉහළ තත්ත්ව පාලනයක් යටතේ නිපදවන ලද්දකි. මේ හේතුව නිසාම අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදනය සෘජුවම නියාමනයට ලක් කරන අතර, එම කාර්යය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරේ.

'ද මෙඩිකල් සයන්ස්' ඇසුරිනි


RECOMMEND POSTS