වැදගත්ම දේ දරුවාගේ පෝෂණය



ඔබේ දරුවාට නිසි පෝෂණයෙන් යුතු ආහාර වේලක් ලබා දීම මවුපියන් සතු යුතුකමකි. එවිට සදහටම දරුවාව මන්දපෝෂණයෙන් ඈත් කරලිය හැකියි. විශේෂයෙන්ම පාසල් එන දරුවන් සඳහා පෝෂණයෙන් යුත් ආහාර වේලක් මවුපියන් විසින් සකසා දිය යුතුයි. එහිදී පාසල් එන දින 05ට විවිධත්වයෙන් යුත් පෝෂණීය ආහාර වේලක් ලබා දිය හැකිය.

ඒ සඳහා බත්, ධාන්‍ය වර්ගයක්, අල වර්ගයක්, කිරි බත්, ඉඳි ආප්ප, ආටා පිටි දමා සකසා ගත් පෝෂණීය රොටි මේ සඳහා යොදා ගත හැකිය. මෙයාකාරයට විවිධත්වයකින් යුත් ආහාර වේලක් ලබා දී දරුවාගේ ආහාර රුචිය සහ පෝෂණීය ගුණය ඉහළ නැංවිය හැකිය.

ඔබේ දරුවාට දෙන ආහාර වේලකදී පහත උපදෙස් පිළිබඳවත් සැලකිලිමත් වන්න.

-උදෑසන ආහාර වේල ප්‍රමුඛතම ආහාර වේල වන අතර සැමවිටම ඊට සමබර ආහාර ඇතුළත් කරන්න.

-උදෑසන පිබිදුණු විගස කිරි කෝප්පයක් පානය කිරීමෙන් අනෙකුත් වැදගත් ආහාර ලබා ගැනීමට බාධාවන බැවින් ඉන් වලකින්න.

උදෑසන ආහාරය සඳහා සමබර ආහාර වේලක් ලබා ගැනීමෙන් පහත වාසි අත්වේ.

-දරුවා අධ්‍යාපන විෂයය සඳහා දක්ෂ වේ.

-පාඩම් සඳහා දරුවාගේ නිරන්තර අවධානය යොමු වේ.

-කළහකාරී හැසිරීම්වලින් වැළකේ.

-ලෙඩ රෝගවලට ගොදුරු වීම අඩු වන බව සහ එවැනි රෝග වැළඳුන විට කඩිනමින් සුව වන බව

-ගැස්ට්‍රයිටීස් සහ මළබද්ධය වැනි රෝගවලින් වැළකිය හැකිය.

එසේම සොසේජස් වර්ග, ක්ෂණික නූඩ්ල්ස්, කෘතිම වර්ණක, රසකාරක යෙදූ ආහාර පාන වර්ග. ඇතැම් මාගරින් වර්ග සහ යළි යළිත් භාවිත කරන තෙල්වලින් සකසන ලද ආහාරවල පිළිකා ජනන හැකියාව ඉහළ බැවින් දරුවා එයින් ඈත් කරන්න.

ශරීරයේ නියමිත ආකාරයට කායකර්ම සිදු කිරීමට අත්‍යවශ්‍ය ජලය ශරීර ස්කන්ධයට සරිලන අයුරින් ලබා දෙන්න. එවිට මන්දපෝෂණයෙන් තොර නිරෝගි දරුවකු බිහි කිරීමේ සිහිනය සැබෑවක් වනු ඇත.

රාගම රෝහලේ පෝෂණවේදී සායනය මගින් නිකුත් කළ අත් පත්‍රිකාවක් ඇසුරිණි.

සටහන - මාධවී ධර්මරත්න


RECOMMEND POSTS