නින්දේදී මුත්‍ර යෑමේ ගැටලුව



නින්දෙන් අවදි වී මුත්‍ර කිරීම සඳහා යෑමට සිදුවන පුද්ගලයන් තම ආහාරයේ ඇති ලුණු ප්‍රමාණය අඩුකළ යුතු බව ජපානයේ වෛද්‍යවරු කණ්ඩායමක් නිර්දේශ කරති.

'නොක්ටුරියා' නමින් හැඳින්වෙන මෙම රාත්‍රී කාලයේ මුත්‍ර කිරීමට අවශ්‍ය වීමේ රෝගී තත්වය මගින් ප්‍රධාන වශයෙන් වයස 60 ඉක්ම වූ පුද්ගලයන්ගේ නින්දට බාධා කෙරෙන අතර ඔවුන්ගේ ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි.

තුන් සියයකට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් සහභාගී වූ අධ්‍යයනයක් මගින් හෙළිවී ඇත්තේ ආහාර මගින් ලබාගන්නා ලුණු ප්‍රමාණය අඩු කිරීම මගින් මේ තත්වය මගගරවා ගතහැකි බවය.

ජපානයේ නාගසාකි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ සභාපතිවරයා තම සොයාගැනීම මුත්‍රවේදය පිළිබඳ යුරෝපා සංගමයේ ලන්ඩන් සභාවේ දී ඉදිරිපත්කළේය.

ඒ අනුව වැඩි ලුණු ප්‍රමාණයක් ගත් සහ නිදාගැනීමේ ගැටළු වලට මුහුණ දුන් රෝගීන්ට ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය අඩුකරන ලෙස උපදෙස් දී මාස තුනක කාලයක් තිස්සේ අධ්‍යයනයට ලක්කර ඇත.එහිදී දෙකකට වැඩි ගණනක්ව තිබූ රාත්‍රී කාලයේ මුත්‍ර කිරීම සඳහා ගිය වාර ගණන එක දක්වා අඩුවිය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් රාත්‍රී කාලයේ මෙන්ම දහවල් කාලයේදීත් යහපත් ප්‍රතිඵල පෙන්නුම් කළ අතර ඔවුන්ගේ ජීවන රටාවේ යහපත් වෙනසක් ද පෙන්නුම් කෙරිණ.ප්‍රතිලෝම වශයෙන් සලකන කළ අධ්‍යයනයට යොදාගත් පිරිස අතරින් 98 දෙනෙකුගේ ලුණු භාවිත කිරීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වූ අතර රාත්‍රී කාලයේදී නිතර මුත්‍ර කිරීම සඳහා යාමට සිදුවිය.

අදාළ අධ්‍යයනයේ කර්තෘ ආචාර්ය මත්සුඕ තොමොහිරෝ පැවසුවේ මෙම අධ්‍යයනය අනුව වයස්ගත පුද්ගලයන්ට උපකාර කිරීමේ හැකියාව ලැබෙන නමුත් මෙසේ ලුණු වැඩි වීමෙන් මුත්‍රා පිටකිරීම වැඩිවීම වයස්ගත පුද්ගලයන්ට වැඩිවශයෙන් සිදුවන්නේ කුමන හේතුවක් නිසාදැයි අධ්‍යයනයක් මගින් සොයාගත යුතු බවය.

"අහාර ගන්නා ක්‍රමයේ වෙනස්කම් කිරීමෙන් පමණක් බොහෝ දෙනාගේ ජීවන තත්වයේ සාධනීය වෙනසක් කළ හැකිව තිබෙන බව මේ අධ්‍යයනය මගින් පැහැදිලි වෙනව," ඔහු පැවසීය.

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS