නිතර ඇතිවන හිසරදයට අත් බෙහෙත්



නොමළ ගෙයකින් අබ මිටක් සොයා යෑම අසීරු වන්නාසේ, තම ජීවිත කාලයපුරාවට හිසරදය සෑදී නැති අයෙකු සොයා ගැනීමට බැරි තරම්ය. ඒ තරමටම සුලභව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි හිසරදය‍.

ආයූර්වේදීය ඉගැන්වීම් වලට අනුව හිසරදය ශීර්ෂ රෝග ගණයට වැටේ.

  • වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂයන්හි සමතුලිතතාවය බිදීයාම, හිසරදයට ප්‍රධානම හේතු වේ. ඊට අමතරව උණ රෝගයෙන් පෙළෙනාවිටත්, අධිරුධිර පීඩනය, කන් දත් ආශ්‍රිත වේදනා තත්ත්ව වලදීත් හිසරදය මතුවිය හැක.
  • හිස ආගන්තුකව සිදුවන බලපෑම් එනම් පහරක් වැදීම, වැටී හිසවැදීම, තැලීමට ලක්වීම වැනි අවස්ථා වලදීද හිස ආශ්‍රිත වේදනා තත්ත්වයක් ඇතිවීමට පුළුවන.
  • විශේෂයෙන්ම ප්‍රතිශ්‍යා තත්ත්වයන්හි මූලික රෝග ලක්ෂණයක් ලෙසට හිසරදය මතුවේ.
  • ජානමය හේතූන් ලෙස හෝ වෙනත් පාරිසරික වෙනස්වීම් මත ඇතිවන ඉරුවාරදය නැමති තත්ත්වයද හිසරදය ඇතිවීමට බලපානා සාධකය.

හිසරදය පාලනය කරගැනීමට නිවසේදී ගතහැකි ක්‍රියාකාරකම්

  • උණුසුම් ජලය හුමාලය ඇල්ලීම. දිනකට දෙවරක් විනාඩි 10-15 කාලයක් හුමාලය ඇල්ලීම යෝග්‍යය.
  • නිතර පවතින හිසරද තත්ත්වයේදී නිල්‍යාගුණ්ඩායාදී තෛලය හෝ ත්‍රිපලා තෛල්‍ය නාසයට නස්න කිරීම කළ හැක.
  • උදුපියලිය, රතුලූණු, සියඹලා කොළ ආදිය ගෙන හොඳින් කොටා පොට්ටනියක බැද, එය හුමාලයෙන් තම්බා නාසය, නළල දෙපස, ඇස් ආශ්‍රිතව මද රස්නයෙන් තැවීම සුදුසුය. මෙම ප්‍රතිකර්මයෙන් හිස ආශ්‍රිතව ඇතිසෙම බුරුල් වී, සෙම ඉවත්වීමක් සිදුවේ.
  • අධිරුධිර පීඩනය හේතුවෙන් රෝගියෙකුට හිසරදය ඇත්නම් තැවීම් කිරීම සුදුසු නොවන අතර එවැනි තත්ත්වයන් පාලනයට සුදුහඳුන් කුඩු සහ සුදුලූණු තලතෙලින් මිශ්‍රකර පැලැස්තරයක් යෙදීම ඉතාම යෝග්‍යය.
  • නිතර ඇතිවන හිසරදයට පොල්තෙල් ස්වල්පයකට දෙහි බිංදු කිහිපයක් දමා පොල්තෙල් පහනකින් රත්කර හිසේ ගැල්වීම ඉතාම සුදුසුය.
  • සෙම්රෝග තත්ත්වයක් හේතුවෙන් ඇතිවන හිසරදයේදී නිකකොළ තම්බා හුමාලය ඇල්ලීමෙන් සුවය ලැබේ.
  • සාමාන්‍ය පවතින හිසරදය දුරුකර ගැනීමට කුරුදු කොළ, ලුණුවරණ කොළ පිරිසිදුව ලබාගෙන තම්බා, හුමාලය ඇල්ලීමෙන් සහනය දේ.

ඉරුවාරදට

  • කහකුඩු ස්වල්පයක් තලතෙල් මිශ්‍ර රෙදි පාන්කඩයක ඔතා ගිනි අවුලුවා ඉන්නැගෙන දුම කොස්කොළ ගොටුවකින් නාසට ප්‍රශ්වාස කිරීමෙන් සුවය ලැබේ.
  • ඉරුවාරදය දිගින් දිගටම පවතින්නේ නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා ඕනැකමින් කළ යුතුය.
සටහන :- අසුන්තා එදිරිසූරිය
උපදෙස් :- ශ්‍රි ලංකා ආයූර්වේද සංස්ථාවේ හිටපු ජේෂ්ඨ ආයූර්වේද  වෛද්‍ය
    රම්‍යා තෙන්නකෝන්

RECOMMEND POSTS